ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා ලැබ විදෙස් ගතව සැඟව සිටියදී මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රශ්න කිරීම් සහ වැඩිදුර විමර්ශන සිදු කරන්නේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයයි. අත්අඩංගුවට ගත් මෙම ස…

ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා ලැබ විදෙස් ගතව සැඟව සිටියදී මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රශ්න කිරීම් සහ වැඩිදුර විමර්ශන සිදු කරන්නේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකව  තිබු  ශ්‍රී ලංකා විදේශ ගුවන් ගමන් බලපත්‍රයක්ද සොයා ගැනුණා. ඊට අනුව ඔහුගේ නම සඳහන් වන්නේ සිහින දිල්සර ලෙසයි. කලක් බහරේනයේ සැඟව සිට ඇති ඔහු පසුව මාලදිවයිනට පැමිණ තිබෙනවා. මෙම සැකකරු සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණු අතර ඒ අනුවයි මාලදිවයින් ආගමන හා විගමන නිලධාරීන් ඔහු හඳුනාගෙන ඇත්තේ. පසුව ඒ පිළිබඳ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකාවෙන් ගිය නිලධාරීන් කණ්ඩායමක් මාලදිවයිනේදී සැකකරු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආවා. සිහින දිල්සර ලෙස පෙනී සිට ඇති මෙම සැකකරු තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණූ අපරාධය සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි අයෙක්. 23 වන වියේ පසුවන්නෙකු වන මෙම සැකකරු ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද මේ වනවිට හදුනාගෙන තිබෙනවා. ඔහුගේ දත්ත කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියට ඇතුළත් කර තිබුණු බවයි පොලීසිය පවසන්නේ. ඒ අනුව මාලදිවයිනේ සිට පැමිණී අවස්ථාවේදී එම පද්ධතිය විසින් ද සැකකරු හදුනාගෙන තිබෙනවා. වැඩිදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම සැකකරු මීට පෙර ද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සහ අධිකරණව විසින් වරදකරු කළ අයෙක්. මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ වරදකට 2025 ඔක්තොම්බර් 21 වන දින බද්දේගම මහේස්ත්‍රාත්  අධිකරණය විසින් ඔහු වරදකරු කර දඩ නියම කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ළග තබාගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවකදී 2025 දෙසැම්බර් 15 වනදා ඇල්පිිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද ඔහු වරදකරු කර දඩ නියම කර ඇති බවයි නෙත් නිව්ස් කළ ගවේෂනයේදී දැනගන්නට ලැබුණේ. මීට පෙරද මොහු බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශවලදී විෂ මත්ද්‍රව්‍ය හා හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බව පොලිසිය පවසනවා. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ක්‍රියාත්මකයි.