මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හෝමූස් සහ බබ් අල්-මන්ඩෙබ් යන උපායමාර්ගික සමුද්‍රසන්ධි ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබෙනවා. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ බලශක්ති මිල ස්ථායීව තබා ගැනීමත්, ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වී…
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හෝමූස් සහ බබ් අල්-මන්ඩෙබ් යන උපායමාර්ගික සමුද්‍රසන්ධි ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබෙනවා. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ බලශක්ති මිල ස්ථායීව තබා ගැනීමත්, ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීමත් තම ප්‍රධාන අරමුණ බවයි. එසේම මෙම අර්බුදයෙන් ඇමෙරිකාව ප්‍රබල ස්ථානයකට පැමිණෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර, ඉරානයට එරෙහිව පනවා ඇති නාවික බාධක දින නියමයක් නොමැතිව ඉදිරියටම පවත්වාගෙන යාමට ඇමෙරිකාවට හැකියාව ඇති බවයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අවධාරණය කළේ. කෙසේවෙතත්, හෝමූස් සමුද්‍රසන්ධිය හරහා සාමාන්‍ය පරිදි නාවික ගමනාගමනය සිදුවන බවට ඇමෙරිකාව කරන ප්‍රකාශ ඉරාන හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු නෞකාවකට එම සමුද්‍රසන්ධිය හරහා ගමන් කළ නොහැකි බවයි ඔවුන් තරයේ කියා සිටින්නේ. එවන් පසුබිමක, හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් නෞකා දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේවෙතත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර තත්ත්වය පාලනය කර ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් විසින් එරට බටහිර දෙසින් පිහිටි උපායමාර්ගික බබ් අල්-මන්ඩෙබ් සමුද්‍රසන්ධිය ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව ද හූති පාලනයේ පවතින ”සබා” පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.












