සාහිත්‍ය කලා ආවර්ජනා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 30 වන සමරු දිනය යෙදී තිබුණේ අගෝස්තු 16 වැනිදාට ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාව මතු නොව නාට්‍ය, නවකතා, ආදී ක්‍ෂේත්‍ර ගණනාවක් අරබයා ඔවුන් විසින් කරන ලද සම්ප්‍රදානයන් අප්‍රමාණය. ඒසා විසල් මෙහෙවරක් කළ දුලබ ගනයේ ශාස්ත්‍රඥයකු මෙන්ම…

සාහිත්‍ය කලා ආවර්ජනා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 30 වන සමරු දිනය යෙදී තිබුණේ අගෝස්තු 16 වැනිදාට ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාව මතු නොව නාට්‍ය, නවකතා, ආදී ක්‍ෂේත්‍ර ගණනාවක් අරබයා ඔවුන් විසින් කරන ලද සම්ප්‍රදානයන් අප්‍රමාණය. ඒසා විසල් මෙහෙවරක් කළ දුලබ ගනයේ ශාස්ත්‍රඥයකු මෙන්ම නිර්මාණකරුවකු ද වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ ජාතික හෝ විශ්වවිද්‍යාල මට්ටමින් සිහිපත් කිරීමක් සිදු නොවූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සඳගෝමී කොපරහේවා සූරීහු සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් අවධාරණය කළහ. අද මෙරටේ සාහිත්‍ය කලා හෝ නාට්‍ය ප්‍රබෝධයක් තිබෙන වගක් බැලූ බැල්මට නොපෙනේ. එසේ වුවද ධෛර්ය සම්පන්නව සාහිත්‍ය නිර්මාණයක් එළිදක්වන හෝ නාට්‍යයක්, චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලබන ස්වල්ප දෙනෙක් හෝ තවම සිටිති. රාජ්‍ය සංස්කෘතික අමාත්‍යාංශය සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන උත්සව හෝ වෙනත් ව්‍යාපෘතීන් තිබුණත් සාහිත්‍ය කලාව හා නිර්මාණ ක්‍රියාකාරකම් සඳහා දිරිදීම් කටයුතු සඳහා ප්‍රමුඛතාවක් නොදෙන බව කලක පටන් තිබෙන විවේචනයකි. අදත් එහි වෙනසක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් මීට පෙර ආණ්ඩුවල තිබුණු ආකාරයට ම සාහිත්‍ය කලා, නාට්‍ය ඇතුළු මණ්ඩල ගණනාවක්ම තිබේ. ඒවාට පත්වන්නෝ ද මූලික වශයෙන් ඒ ඒ ආණ්ඩුවල සමීප සබඳතාවන් ඇති අයයි.

කෙසේ හෝ මේ කිසිදු මණ්ඩලයකට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මතක් නොවූ බව පෙනේ. මහාචාර්ය සඳගෝමීන් පවසා තිබුණේ කොතැනක හෝ සරච්චන්ද්‍ර සැමරුම් වැඩසටහනක්වත් නොතිබුණු බවය. ඇත්තට ම එය මෙරටේ ශාස්ත්‍ර බුද්ධි පරිහානිය සංකේතවත් කරන්නකැයි මම සිතමි. වර්තමානය කෙසේ වෙතත් අතීතයේදී මෙරටේ ශාස්ත්‍රීය විද්වත්හු ප්‍රමුඛ සෞන්දර්ය කලා ක්‍ෂේත්‍රවල බහුතරය ද මහාචාර්ය සරච්චන්ද්‍රයන් මෙන්ම එතුමන්ගේ ශ්‍රාස්ත්‍රීය හා සෞන්දර්ය කලා මෙහෙවර පිළිබඳ තතු දනිති. ඔවුන් අතර සරච්චන්ද්‍රයන්ගේ සෞන්දර්ය කලා ප්‍රවාහයෙන් දෝතක් හෝ නොගත් කී දෙනෙක් සිටිත්දැයි කිව නොහැක. පනහ දසකයටත් පෙර ඇරඹෙන සරච්චන්ද්‍ර සාහිත්‍ය ව්‍යාපාරය පේරාදෙණි සාහිත්‍ය ලෙස ද නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රවලට සරච්චන්ද්‍රයන්ගේ බුද්ධිමය හා සෞන්දර්ය ආලෝකය වැටුණු ආකාරය ද ඔවුහු දනිති.

සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමීත්වයෙන් වැඩී ව්‍යාප්තවූ සාහිත්‍ය හා කලා මෙහෙවර අරබයා කෙබඳු වාද විවාද සිදු වුවත් එහි සාධනීය ලකුණු සාහිත්‍ය කලා රසික ප්‍රජාවට බැහැර කළ නොහැක. සාහිත්‍ය කලා නිර්මාණය පමණක් නොව සාහිත්‍ය කලා විචාරය ද අර්ථවත් සමාජ භාවිතයක් මෙන්ම පුද්ගල ආධ්‍යාත්මය හා ප්‍රඥා වර්ධනයට හේතු වන්නක් බව සරච්චන්ද්‍රයෝ පෙන්වා දුන්හ. ඒ අර්ථවත් සංවාදය ගාම්භීර ප්‍රකාශනයක් බවට පත් කිරීමට මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ද දායක වූහ. සිංහල සාහිත්‍යයෙහි නූතනත්වය හා සංස්කෘතික දැක්ම අරබයා මේ දෙදෙනාම අගනා සම්ප්‍රදානයන් එක් කළහ.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඒ ශාස්ත්‍රීය හා කලා සම්ප්‍රදානයන් පිළිබඳ මෙවැනි සංක්ෂිප්ත සටහනක කිසිසේත්ම විග්‍රහයක් කළ නොහැක. අප මෙහිලා අවධාරණය කරන්නේ මෙරටට, ජාතියට එවන් අප්‍රමාණ ගරු මෙහෙවරක් කළ සංස්කෘතික කලා ප්‍රාඥයකු පිළිබඳ සිහිපත් කිරීමක් හෝ නොකිරීම ගැනය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සෞන්දර්ය කලා භූමිකාවේ ඒක දේශයක් ලෙස බුහුමනට පාත්‍ර වී තිබෙන නාට්‍ය කලා නිර්මාණ හා ඒ සම්බන්ධ ශාස්ත්‍රීය විමර්ශන වුවද ඔවුන් ඇගැයීමට සෑහේ. දේශීය නාට්‍ය කලාවක් ස්ථාපනය කිරීම සඳහා සරච්චන්ද්‍රයන් විසින් උසුලන ලද දුක්ඛ සෙය්‍යා දුර්භෝජන බොහෝය.

දේශීය නාට්‍ය කලාවේ පුනරුත්පත්තිය ලෙස සම්භාවිත මනමේ නාටකය දැන් අඩසිය වසකට වඩා මෙරටේ රඟ දැක්වී තිබේ. ලබන නොවැම්බර් 03 වැනිදාට මනමේ නිර්මාණයට වසර 70ක් ද සපිරේ. මනමේ යනු සරච්චන්ද්‍රයන්ගේ දීර්ඝ කාල සෞන්දර්ය චාරිකාවක අග්‍රඵල සේ නෙළා ගන්නා ලද මහාර්ඝ නිර්මාණයකි. චන්ද්‍රරත්න මානවසිංහයෝ එය අභිරංගයක් සේ වර්ණනා කළහ. මනමේ මතු නොව සිංහබාහු ඇතුළු නිර්මාණ සමුච්චයක්ම සරච්චන්ද්‍රයෝ ජාතියට දායාද කළහ. දසක ගණනක් විද්වත් රසික විචාරයට ද ආකර්ෂණයට ද ලක්වූ මේ නිර්මාණ පිළිබඳ අටුවා ටීකා හෝ අමතු හැඳින්වීම් අවශ්‍ය ද නොවේ.

ජාතක පොතේ එන චුල්ල ධනුද්දර කථාව නිසැකයෙන්ම ස්ත්‍රිත්වයෙහි චපල බව මෙන්ම ඇය පතිද්‍රෝහී ලියක් ලෙස තහවුරු කිරීමට දැක්වූ පුවතකි. ‘ගැහැනු කවුරු ද වරද නොබැඳෙන’ යන සමාජ සම්මතය මෙරටේ එදා ප්‍රබලව තිබුණි. පුරාණ ඉන්දියාවේ ස්ත්‍රිය අවඥාවට ලක් කිරීම සඳහා ගෙතූ සාහිත්‍යයක් වෙනම ම තිබේ. මේ වැඩවසම් ගර්හිත දෘෂ්ටිය ලංකාවේ ද පැතිර ගොස් තිබුණි. ප්‍රත්‍යය ශතකය නමැති කෘතිය කියැවූ අය අදත් මෙරටේ සිටිති. එයින් පැවසෙන්නේ ස්ත්‍රිය ඇදහිය නොහැකි බවය. මේ බව තහවුරු කිරීමට යොදා ගත් උපමා මෙසේය. කිසිවෙක් අත්තික්කා මල් දැක තිබේද? සුදු කපුටන් හා දියෙහි මත්ස්‍යයන්ගේ පා සටහන් දැක තිබේද? මේවා දුටුවේ යැයි කවුරු හෝ කියත්නම් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රී සිත නම් විශ්වාස කරන්න එපා. එදා මෙරටේ සාම්ප්‍රදායික උගතුන්ගේ මූලාශ්‍ර බවට පත්ව තිබුණු ‘ප්‍රත්‍යය ශතකය, පංච තන්ත්‍රය වැනි කෘතිවල අන්තර්ගත වූ එම දෘෂ්ටිය බිඳ දැමීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් දරන ප්‍රයත්නය මනමේ නාටකය තුළ අපට දැක ගත හැකිය. එය නිසැකයෙන්ම ‘රැඩිකල්’ යනුවෙන් හැඳින්විය හැකි ප්‍රවේශයකි.

මනමේ කුමරිය සිය පියාවූ දිසාපාමොක් ඇදුරිඳුගේ අභිමතය පරිදි විවාහ වන්නීය. කුමරුන් සමග පෙරළා මාලිගාවට යන අතරමඟ වනාන්තරය මැදින් යන නව යුවළට වැදිරජකු මුණ ගැසෙයි. කුමරියගේ ජීවිතය ඛේදවාචකයක් වන අයුරු එතැන් සිට සරච්චන්ද්‍රයෝ නාට්‍යමය ජීවයකින් නිරූපණය කරති. කුමාරයා මරුමුව වැටීමෙන් පසු කුමරිය වැදිරජුගේ රැකවරණය පතන්නීය. එහෙත් ඇය වැදිරජුගේ සිත දිනා ගැනීමට පවසන බොරුව නිසා ඒ සබඳතාව බිඳී යයි. ප්‍රාණප්‍රිය සැමියා හැර වෙනත් පුරුෂයකුට පෙම් කිරීම බලවත් වරදකැයි එකල ද සම්මතය විය. එය පුරුෂාධිපත්‍යය නමැති අධිපති බලය විසින් නිගමනය කරන ලද්දකි. (අදත් මෙහි එතරම් වෙනසක් තිබේදැයි නොදනිමි) වැදි රජු ඇය පන්නා දමන අයුරු නාට්‍යයෙහි නිරූපිතය. එහෙත් මේ සිදුවීම් මාලාව ඔස්මේ සරච්චන්ද්‍රයන්ගේ මානව දෘෂ්ටිය විශද වේ. මේ ගැඹුරු මානව සබඳතාව අප තුළ විවිධ මනෝභාව දනවයි. පුරාණ ඉන්දියාවේ තිබුණු සති පූජාව කෙතරම් කුරීරුද? ස්ත්‍රියට එදා තිබුණු පීඩනය එයයි. බුදුන් වහන්සේ මේ පුරුෂෝත්තම වාදයට එකඟ නොවී ස්ත්‍රී නිදහස අනුමත කරයි. සමාජ සමානාත්මතාව හා සාධාරණත්වය පිළිබඳ සංකල්ප බුදුන් වහන්සේ සමාජ ගතකර තිබුණත් වැඩවසම් ප්‍රභූ පන්තිය තම බලය අතහැරීමට සූදානම් නොවීය. බුදුන් වහන්සේ රජුන්, ඇමැතියන්, බමුණන් ආදීන්ට මෙන්ම චණ්ඩාල, දාස වැනි පහල ස්තරවල ජනතාවටත් ස්ත්‍රියටත් එකම විමුක්ති මාර්ගයක් දේශනා කළ උතුමෙකි. එය පොදුවේ හැම මනුෂ්‍යයාට ම විවෘත වූවකි.

බෞද්ධ සාහිත්‍යයෙහි නිබඳව දැක්වෙන්නේ ස්ත්‍රිය නිසා පුරුෂයන් විපතට වැටෙන බවය. මනමේ කවි නාඩගම ඉදිරිපත් කළ ගැමි කලාකරුවාත් ඒ දෘෂ්ටිවාදයට එකඟ වූවෙකි. හින්දු ආගමේ එන්නේත් ස්ත්‍රී ඇසුර විපතට මුල් වන බවය. පන්ති සමාජය තුළ රජයන පුරුෂෝත්තම වාදයට අභියෝග කිරීමට මහා කවි කාලිදාසයන් පවා පැකිලුන බව ඇතැම් විචාරකයෝ පවසති. කාලිදාසයන්ගේ විශිෂ්ට නිර්මාණයක් වන ‘අභිඥාන ශාකුන්තලය’ (සංස්කෘත භාෂාවෙන් නිර්මාණය වී ඇත.) විශ්ව සාහිත්‍යයට ද එක්ව තිබෙන නිර්මාණයකි. මෙය කලකට පෙර ශ්‍රී ලංකාවේදීත් වේදිකාගත විය. නවදිල්ලියේ ජාතික කලා නාට්‍ය පීඨයේ රීටා ගංගුලි එහි නිෂ්පාදිකාව වූවාය. මෙහි එන ශාකුන්තලා පුවත ජෝන් සිල්වා විසින් ද වේදිකා ගතකර ඇත. එසේම ශාකුන්තලා සිංහලට නඟා (ඩී. ඊ. හෙට්ටිආරච්චි හා පියදාස නිශ්ශංක) මෙරටේ උසස් පෙළ නිර්දිෂ්ට කෘතියක් ලෙස ද නියම කර තිබුණි. දුෂ්‍යන්ත නම් රජකු සමග ප්‍රේමයෙන් වෙළෙන ශාකුන්තලා ඔහු සමග ස්වයංවරයකින් විවාහ වී පසුව ශාපයකට ලක්ව අප්‍රමාණ දුක් විඳ අවසානයේ දී සැනසීමක් ලබන්නීය. එසේ වුවද මේ කතාවේ දැඩිව පෙනෙන්නේ පුරුෂාධිපත්‍යයයි. ශෝකාන්තය සුඛාන්තයක් ලෙස නිම කිරීමට කාලිදාස සමත් වී තිබේ.

මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ නාටකයෙන් මතු කරන්නේ ද මේ පුරුෂාධිපත්‍යය හා ස්ත්‍රිය පිළිබඳ සම්මත දෘෂ්ටියයි. මනමේ කුමරියගේ ජීවිතය ඛේදවාචකයක් වුවත් එය අපගේ බුද්ධි මණ්ඩලය තුළ ප්‍රබල සංවාදයක් ගොඩනැඟීමට සමත් වේ. සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට දෘශ්‍ය කාව්‍යයක් ලෙස සිංහබාහු ද සම්භාවනාවට පාත්‍ර වී ඇත. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය මෙහෙවර වුවද ජාතික ගෞරවයට සෑහේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් සාහිත්‍ය විචාර කලාවක් ගොඩනැංවීමට කරන ලද මෙහෙවර ද අප්‍රමාණය. පේරාදෙණි ගුරුකුලවාදයෙන් ඔවුන්ට අවමන් ගැරහුම් කළත් එම විචාර ක්‍රමය විසින් සාහිත්‍ය සේවනයට කරන ලද බලපෑම නොතකා හැරීමට නොහැකිය. සාහිත්‍ය විද්‍යාව වැනි කෘතියකින් මෙහෙවරක් ඉටුවී නැතැයි කිසිවකුට කිව නොහැක. පේරාදෙණි සාහිත්‍යය මෙන්ම ඒ විචාර සම්ප්‍රදාය ගැන ද විවාද තිබුණි. අදත් තිබේ. ඒවා වෙනම කථාය. එහෙත් මේසා විසල් මෙහෙවරක් කළ ශාස්ත්‍රාලීය බුද්ධිමතකු මෙන්ම විශිෂ්ට කලාකරුවකු වෙනුවෙන් කිසිම අවධානයක් යොමු නොවී ම කනගාටුවට කරුණකි.

සාහිත්‍ය නාට්‍ය කලා නිල බල ඇති අයට ඇහැට ඇන පෙන්වා දී අවධානයක් යොමු කරගත යුතු තත්ත්වයකට මෙරටේ සාහිත්‍ය කලා ප්‍රාඥයකු පත්වීම කෙබඳු අවාසනාවක් ද මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ඇතුළත් නාට්‍ය උළෙලක් පසුගියදා සරච්චන්ද්‍ර මහත්මිය විසින් පවත්වා තිබුණි. කුමක් වුවත් ආණ්ඩුව පත් කර තිබෙන කලා නාට්‍ය සාහිත්‍ය වැනි මණ්ඩලයක හෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානයන් දන්නා කීපදෙනෙක්වත් නොවෙත්ද? රාජ්‍ය මාධ්‍යයකවත් ඒ විශිෂ්ට සෞන්දර්ය මහාචාර්යවරයා ගැන කුඩා ප්‍රවෘත්තියක් හෝ පළ කිරීමට කිසිවෙක් නොසිටියෝ ද?

ගාසු