මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහත…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කරන්නේ. මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිදු විසඳුමක් ලබාදී නොමැති බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, හෙට සිට පහත දැක්වෙන තීරණ ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා. දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම. සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම් (Data systems updating) නතර කිරීම. එමෙන්ම, මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත ඇතුළත් නොකරන බවද එම සංගමය අවධාරණය කරනවා. බී.එච්. මිගස්දෙනිය මහතාගේ ස්ථානමාරුව වහාම අවලංගු කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින එම සංගමය, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල අනුමත මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහය ද දැඩි ලෙස හෙලා දකිනවා. කෙසේ වෙතත්, මෙම ගැටලු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා පූර්ණ සහය ලබාදීමටත්, ඕනෑම අවස්ථාවක සාකච්ඡා සඳහා සූදානම් බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති සහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.