කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධාන කුලී ඝාතකයෙක්: කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (26දා) අලුයම අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධාන කුලී ඝාතකයකු ලෙස කටයුතු කළ ‘මාටියා’ නමැති අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත. ජාත්‍…

කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධාන කුලී ඝාතකයෙක්:

කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (26දා) අලුයම අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධාන කුලී ඝාතකයකු ලෙස කටයුතු කළ ‘මාටියා’ නමැති අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවකට අනුව මලයාසියාවේදී අත්අඩංගුවට පත්වූ ‘මාටියා’ නමැති කුලී ඝාතකයා එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.

එහිදී ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මාටියා සිය භාරයට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබිණි.

කෙහෙල්බද්දර පද්මේගේ නියෝග මත ගම්පහ අධිකරණය ඉදිරිපිටදී පස් පොඩ්ඩා නමැති අපරාධකරු සහ තවත් අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණේ ‘මාටියා’ නමැති මෙම කුලී ඝාතකයා විසින් බව අනාවරණය වී ඇත.

ඊට අමතරව කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත තවත් මිනිස් ඝාතන කීපයක් මොහු විසින් කළ බවට තොරතුරු ලැබී තිබේ.

මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාටියා ගම්පහ අධිකරණය ඉදිරිපිට ද්විත්ව ඝාතනය සිදු කිරීමෙන් පසු මලයාසියාවට පලා ගියේය.

සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මාටියා නමැති කුලී ඝාතකයාගේ පාතාල කල්ලියේ නායකයා බව කියන කෙහෙල්බද්දර පද්මේ මේ වනවිටත් රඳවා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ ය.

හේමන්ත රන්දුණු සහ ටී.කේ.ජී. කපිල – ගුවන්තොටුපළ