අභිනව අධිකරණ සංඝනායක බැලුම්මහර ඉන්දානන්ද හිමියන්ටසන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවයේදී අගමැතිනි හරිනි අමරසූරිය කියයි වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත්, ගිහි ජනතාව පං…
අභිනව අධිකරණ සංඝනායක බැලුම්මහර ඉන්දානන්ද හිමියන්ටසන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවයේදී අගමැතිනි හරිනි අමරසූරිය කියයි
වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත්, ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ 23දා පැවති සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත, පූජ්‍ය බැලුම්මහර ඉන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත “සද්ධර්මකීර්ති ශ්‍රී අනෝමදස්සි” ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් පිරිනමන ලද ශ්‍රී සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් උන්වහන්සේ වෙත පිළිගැන් වූ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය. අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජයීය පදනම සුරක්ෂිත කළ ප්‍රධාන නියමුවාණන් වහන්සේලා වන්නේ මහා සංඝරත්නය බවත්, රටක් ලෙස අප මුහුණ දෙන සංකීර්ණ ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට නම් සදාචාරාත්මක පදනම මත පිහිටි හික්මුණු, නීතිගරුක සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කළාය.
ගැටලු හමුවේ කෝප නොවී සන්සුන්ව හා ප්‍රඥාවෙන් යුතුව තීරණ ගැනීමටත්, ඉවසීම සහ මධ්‍යස්ථභාවය පෙරදැරි කරගෙන ඉදිරියට යෑමටත් උන්වහන්සේලාගේ උපදෙස් හා මගපෙන්වීම අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
නව පදවි ලත් බැලුම්මහර ඉන්දානන්ද නායක හිමියන්ගේ සමාජ මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, උන්වහන්සේ බැන්ඩියමුල්ල ශ්‍රී විද්‍යාශේඛර මහා පිරිවෙනේ පරිවේණාධිපති ලෙස සහ ශ්‍රී සරණංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරමින් ගුණධර්මවලින් පිරිපුන් නැණවත් පරපුරක් නිර්මාණය කිරීමට කැපවූ බවද පැවසුවාය.
එමෙන්ම ත්‍රිපිටක ධර්මය හා ශාස්ත්‍රීය උරුමය සුරකිමින් පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමටත්, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කිරීමටත්, ගම්පහ ප්‍රාදේශීය කලා මණ්ඩලය සහ තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධානවලට අනුශාසකත්වය දෙමින් සංඝරත්නය කියන්නේ පන්සලට පමණක් සීමා නොවී පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන නායකත්වයක් බව උන්වහන්සේ ප්‍රායෝගිකවම තහවුරු කර ඇති බවද සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය අගය කළාය.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මුලසුනින් පැවැති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කන්‍යාසොහොයුරියන්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ දායක සභාවේ විශාල පිරිසක් එක්ව සිටියහ.ගම්පහ සමූහ – සුසිල් රණමුක












