මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකි බව නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම වැළැක්වීම සදහා දැනට පවතින ක්‍රමවේදවලට එහා ගොස් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා නෙත් නිවුස් කළ විමසීමකදී…

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකි බව නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම වැළැක්වීම සදහා දැනට පවතින ක්‍රමවේදවලට එහා ගොස් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. ''එහෙම කරලා පෙන්නුවයි කියලා මිනිස්සු ඒකෙන් මිදෙන්න කටයුතු වෙන්නේ නැහැ. පළවෙනියෙන්ම රට ඇතුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මේ මහා පරිමාණයෙන් කිරීම සම්බන්ධව අපි ඒකට පියවරක් ගන්න ඕනේ. ඉතින් ඒවා කන්ටේනර් නිදහස් කිරීම ගැන සම්බන්ධව තියෙන ගැටලු අපි දැක්කා නෙ. එවැනි තත්ත්වයක් යටතේ එවැනි කන්ටේනර් පිටවෙලා ගිහිල්ලා අවසානයට එන්නේ කා ගාවටද? ඒ සම්බන්ධයෙන් එන්නේ ඒ තරුණ පරපුර අතරට තමයි මත්ද්‍රව්‍ය යන්නේ. ඉතින් එතකොට මෙවැනි අවස්ථාවල් අපි වළක්වන්නේ නැතුව, ඊළඟට ගොඩින් ගෙන ඒම පිළිබඳව හරියාකාරව... සමහර දේවල් හොඳට කෙරෙනවා, සමහර දේවල් ඉතාම හරියාකාරව කෙරෙන්නේ නැහැ, ඒත් මත්ද්‍රව්‍ය අරන් එනවා. එතකොට මුහුදෙන් ගෙන ඒවට, ඒවට නිසි උපකරණ ලබා දීලා ඒ වගේ පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීම කරන්න පුලුවන්ද කියන එකයි මෙතන තියෙන ගැටලුව. එවැනි අවස්ථාවල් කරගෙන යනවා නාවික හමුදාව, නමුත් දැනට තියෙන තාක්ෂණ උපකරණ බැලුවාම, ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගාව තියෙන තාක්ෂණ උපකරණ අපේ රජයේ නාවික හමුදාව සතුව තියෙන උපකරණවලට වඩා සංකීර්ණ සහ අලුත්ම දේවල්. ඒවයින් අරවා මඟහැරලා යන ක්‍රමවේද තිබෙනවා. ඉතින් මේවට තමයි ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඊළඟට මත්ද්‍රව්‍ය සම්බන්ධව පුනරුත්ථාපනයට යොමු වෙනවාට කටයුතු කරනවාද අපි කියන එක බලන්න ඕනේ, සාමාන්‍යයෙන් ඇබ්බැහි වෙච්ච අයව. ඊළඟට බන්ධනාගාර තදබදය තියෙල ඉවරවෙලා, ඒ තදබදය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගැවසෙන්න දුන්නට පස්සේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ අය එළියට එනකොට ඒවා පිළිබඳව අර ආශාව තියෙන එක ඇතිකරගෙන කටයුතු කරන්න සූදානම් වෙලයි එන්නේ, ඒ තමන්ට වෙච්ච අසාධාරණයත් එක්ක." මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබෙනවා. ඒ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින්. “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන්නේ ඊට අදාළම පුද්ගලයා ද යන්න සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ. "මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව පොළඹවන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. එතුමාටත් මේ සම්බන්ධව දැන් තියෙන තත්ත්වය යටතේ, මේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරුවලදී අපි හරියටම ඒ අදාළ පුද්ගලයෝද අත්අඩංගුවට ගන්නේ කියන එක. නේද? එවැනි තත්ත්වයක් නොමැති අවස්ථාවකදී කිලෝ ගානක් හම්බවෙලා, අහුවෙලා තිබුණා වුණත්, එවැනි තැනකට, කෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දීලා, යම්කිසි විදිහකින් ඒ අයට අභියාචනයක් කරන්න හැකියාවක්, මුදලක් නැති වුණොත් එහෙම, ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න යනවාද? එතකොට එවැනි අවස්ථාවකට කොහොමද ඒකේ තත්ත්වය මනිනු ලබන්නේ? ඉතින් ඒ නිසා අපේ රටේ එවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන පරිසරයක් තියෙනවා කියන පිළිගැනීමක් තියෙනවා. පුද්ගලයෙක්ව හරියාකාරව, නිසි පුද්ගලයාද අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්නේ කියන කතාව අපි දැක්කා විවිධ නඩුවලදී ඒ තීන්දු වලින් කටයුතු කෙරෙනවා. ඉතින් එවැනි නඩු තීන්දු වලින් දක්වපු, අපි ලබා තියෙන අත්දැකීම් මත එසේ කිරීමෙන් භයානක ප්‍රතිඵල තමයි ඇති වෙන්නේ. යම්කිසි අවස්ථාවක ඒ නිර්දෝෂී පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක් කරොත් මොකක්ද වෙන තත්ත්වය?''