මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව පොලීසිය පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කළා. එහිදී පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මීගම…

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව පොලීසිය පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කළා. එහිදී පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන බවයි. කෙසේවෙතත් ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද පොලීසිය පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා. අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මේ අතර අදාළ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ. ඒ අතර රැදවියන් 19 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු වනවා. තුවාල ලැබූ තවත් සියයක පමණ පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 700 දෙනෙකු පමණ ඊයේ දිනයේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා. එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර ඇති බව පොලීසිය පැවසුවා.