මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා. පොලීසිය පැවසුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා සමග පසුගිය 7 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූ බවයි. එහිදි ගැ…
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා. පොලීසිය පැවසුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා සමග පසුගිය 7 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූ බවයි. එහිදි ගැටුම හටගත් ස්ථානය සහ අලාභහානි සිදුවූ ස්ථාන ද නිරික්‍ෂණය කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රැදවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. එදින රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතයි. එමෙන්ම මීගමුව බන්ධනාගාරය පිටත පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමටයි නියමිතව ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5 වනදා හා 6 වනදා පැවති ගැටුම් හේතුවෙන් රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 29 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුද අයත්. මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකලා. ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ජීවිතක්‍ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුකළා. තවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේ සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තවත් පිරිසක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර පසුගිය 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් රැදවියන් දෙසට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන් ද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට සිය ජීවිතය ද ගැන නොසිතා නොබියව රාජකාරී කළ එම නිලධාරියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසටද බන්ධනාගාර නිලධාරීන් පසුගියදා අධිකරණ අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. එම නිලධාරියාට මේ වනවිට ඇතැම් රැදවියන් හා විවිධ පාර්ශවලින් මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් සිය සහෝදර නිලධාරීන් ඔහු සමග සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම වෙඩි තැබීම සිදුකළ බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන් නෙත් නිව්ස් සොයා බැලීමක් කළා. ඔහු එම සිද්ධිය වනවිට රාජකාරී සිදුකරමින් සිට ඇත්තේ මීගමුව බන්ධනාගාරයට අනියුක්තවයි. ඒ, බන්ධනාගාර නියාමකවරයෙකු ලෙසයි. මීට අවුරුදු 12 කට පමණ පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැදි ඇති ඔහු බන්ධනාගාර කිහිපයකද සේවය කර තිබෙනවා. ඔහු බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් සමග සුහදව ඔහු කටයුතු කරන නිලධාරියෙකු ලෙසටයි සැලකෙන්නේ.

