2026 ජුනි මස 28 වැනිදා ඉරිදා පොසොන් පුන් පොහොය යෙදී ඇත්තේ හෙට (29 වැනිදා) දිනයටය. මේ වූ කලී සිරිලක් දෙරණේ අසිරිමත්ම සිදුවීමක් දක්නට ලැබුණු දිනයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනෙක ධර්ම දූත පරිසක් සමග ලංකාවට වැඩම කළහ. එතැන් පටන් මෙරට බුදු දහම ස්ථාපිත වූයේය. එ…

2026 ජුනි මස 28 වැනිදා ඉරිදා

පොසොන් පුන් පොහොය යෙදී ඇත්තේ හෙට (29 වැනිදා) දිනයටය. මේ වූ කලී සිරිලක් දෙරණේ අසිරිමත්ම සිදුවීමක් දක්නට ලැබුණු දිනයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනෙක ධර්ම දූත පරිසක් සමග ලංකාවට වැඩම කළහ. එතැන් පටන් මෙරට බුදු දහම ස්ථාපිත වූයේය. එසේ, බුදුදහම ලංකාවට පැමිණීම හේතුවෙන් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදුවිය. එය රටේ බෞද්ධ ප්‍රබෝධයක් සේම අධ්‍යාත්මික වශයෙන් මෙරට ජනතාවගේ ජීවන පැවතුම් උසස් තත්ත්වයකට පත්කරලීමට එය හේතුපාදක විය.

ඉන්දියාව වැනි ප්‍රාන්ත ගණනාවක් ඇති දේශයක, නැතහොත් ඉතිහාස කතාවල සඳහන් පරිදි සොළොස් මහ ජනපද ඇති දේශයක් පසෙකලා බුදු දහම ප්‍රචලිත කරනු වස් මේ කුඩා රට තෝරාගැනීම ම පුදුමයකි. එහෙයින් අප මේ මොහොතෙත් අනුබුදු හිමි පාද නමස්කාර පූර්වකව ඊට පිං දියයුතුය.

බුදු දහම මෙරට ස්ථාපිත වීමත් ප්‍රචලිත වීමත් සමග විශාල සමාජ පරිවර්තනයක් සිදුවූ බව අප පෙර කීවෙමු. එය සාධනීය පරිවර්තනයකි. සරලව කිවහොත් එතෙක් අප සිටි ආකාරය සම්පූර්ණ කණපිට ගැසීමකි. වෙසක් පුන් පොහොය සේම පොසොන් පොහොය ද අපට අතිශය වැදගත් වන්නේ එහෙයිනි. ධර්මාශෝක රජුට, සිය පුත්‍ර රත්නය වූ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ අනුරපුර රාජධානියට පිටත් කර හැරීමේ වුවමනාවක් හටගන්නට ඇත්තේ ඇයි?

ඊට හේතුවන්නට ඇත්තේ ධර්මාශෝක රජු අනාගතය දුටු නිසා බවට සැකයක් නැත. අනාගතයේ දිනෙක උතුම් වූ බුදු දහම ථෙරවාදී පදනමෙන් පවතින එකම රාජ්‍ය ශ්‍රී ලංකාව බව ධර්මාශෝක රජු කල්පනා කරන්නට ඇති. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරනවිට මෙරට බොහෝ දෙනෙක් ශිව භක්තිකයන්ය. දෙවනපෑතිස් රජු ද ශිව භක්තිකයෙකි. එහෙත් මිහිඳු හිමි වැඩම කොට ඇතිවුණු කෙටි සංවාදයකින් පසු බොහෝ දේ වෙනස් විය. අද අප ගත කරමින් හිඳින සංස්කෘතික – ශිෂ්ටසම්පන්න ජීවන රටාවට මඟ පෑදුණේ එතැන් සිටය. (වර්තමානය වන විට එසේමද යන්න ගැන කතා කිරීම පසෙකට තබමු.)

එතැන් පටන් අද වනවිට දීර්ඝ කාල පරාසයක් ගතවී යුග ගණනාවක් පසුකර සමාජය අතිශය සංකීර්ණ හා තරගකාරී තත්ත්වකට පත්ව තිබේ. මිනිස් සමාජය අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබේ.

උදේ නැඟිට්ට පැඳුරේ සිට අහන්නට දකින්නට ලැබෙන්නේ වංචා දූෂණ, අපරාධ, හොරකම්, පාතාල ක්‍රියා වැනි සමාජ විරෝධී ක්‍රියාය.

අප දන්නා ඉතිහාසයට අනුව මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කළේ ක්‍රිස්තු පූර්ව 236 හෝ 247 යන කාලවකවානු දෙක අතරය. කෙසේ හෝ අපට අවශ්‍ය වන්නේ එය විවාදයට ගැනීමට නොවේ. මිහිඳු මහරතන් වහන්සේ බුදු දහම සමග හොඳම දේ අපට ගෙනැවිත් දී ඉතා දීර්ඝ කාලයකට පසු අපේ රටට පැමිණි උදවිය අපට බොහෝ නරකම දේ ගෙනැවිත් දී තිබිණි. කොටින්ම ඒ වනවිට අපි හොඳ නරක තෝරා බේරාගැනීමට නොහැකි මට්ටමට පත්ව සිටි ජාතියක් වීමු.

70 දශකය වනවිට මේ තත්ත්වය ඉතාමත්ම බරපතළ නරක තත්ත්වයකට පෙරැලී තිබිණි. වර්තමානය වනවිට තත්ත්වය ඉතාම නරකය. පොසොන් පුන් පොහොය ගැන කීවද අද කතාව ඩෙංගු ගැනය.

ඩෙංගුටු ඩෙංගුටු ඩෙංගු(බෙර පදයක් නොවේ.)

මිහිඳු මහ රහතන් වහන්සේ සාරධර්මවලින් පිරි සංස්කෘතික රටක් බිහි කළ ද අද වනවිට මේ රටේ මිනිස් ජීවිත මෙන්ම පරිසරය ද නරක තැනකට වැටී තිබේ. එහි තරම අපට පෙන්වා දෙන්නේ ඩෙංගු උවදුරය.

සති කිහිපයකට පෙර අප බයෙන් සලිතව සිටියේ ඩෙංගු රෝගයකට නොවේ. වෙනත් රටවලින් පැමිණීමට නියමිත වෛරස් රෝගයකටය. එහෙත් අපට දොරකඩ සිටින මාරයා අමතකව තිබේ. මේ රටේ ඩෙංගු යනුවෙන් රෝගයක් අසන්නට ලැබුණේ ඉතාම මෑත ඉතිහාසයේය. එදා පටන් අද වනතුරුත් ඒ අවදානම පහව ගොස් නැත. පසුගිය සිකුරාදා (25) වනවිට මේ වසරේ මුල සිට මෙදින තෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන පනස්දහසකට ආසන්නය. පසුගිය මාසයේ, එනම් සිකුරාදා (26) වනවිට රෝගීන් 14,446ක් වාර්තා වී තිබේ. වාර්තා වූ මරණ ගණන 29කි.

ඇත්ත වශයෙන්ම මේ පෙන්වා දෙන්නේ පසුගිය අවුරුදු ගණනාවක ඩෙංගු මර්දන වැඩසටන්වල ප්‍රගතියයි. ඩෙංගු පැතිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ඩෙංගු මර්දන ව්‍යාපාරය යනු “නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති” වර්ගයේ අමුතු එකක් බවය. ඩෙංගු මර්දන ව්‍යාපාරය ඊයේ, අද සහ හෙට ලෙස වර්ගීකරණය කළහොත් ඒවා ව්‍යාපෘති වට්ටෝරු හා සමානය. ඒ මෙසේය, අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, ඩෙංගු මදුරු කීටයන් බෝවෙන තැන් විනාශ කිරීම, ධූමායනය, බී. ටී. අයි. බැක්ටීරියාව ඉසීම, මදුරුවන් බෝවන ආකාරයට කටයුතු කරන නිවාස හා ගෙවතු පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදී වශයෙනි. “කියුබාව ඩෙංගු තුරන් කළ හැටි” පාසල් පෙළපොතකට ඇතුළත්ව නැතත් එය අපට කට පාඩමින් කිව හැකිය. වතුවලට පැන දඩ ගැසීම යනු ජනප්‍රිය තලයේ වැඩසටහනකි. ට්‍රැෆික් දඩ ගැසීමෙත්, ඩෙංගු දඩ ගැසීමෙත් වෙනසක් ඇත්තේම නැති තරම්ය. මේ ව්‍යාපෘති සහ දඩ ගැසීම සාර්ථක නම් මේ වනවිට ඩෙංගු නොව කිසිදු මදුරුවකු, මැස්සකු වටපිටාවේ දකින්නට නැත.

ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ නිවෙස් අවට දිය රැඳෙන තැන්වල යැයි නිගමනය කර ඩෙංගු මර්දනය කිරීම වැරැද්දකි. පසුගිය අවුරුදුවල ඩෙංගු මර්දනයට දඩ ගැසූ තැන්වල තවමත් ඩෙංගු බෝවේ. බිත්තර කටුවට – පොල් කට්ටට දඩ ගැසීමෙන් ඩෙංගු මර්දනය නොවේ. මෙහි වරද තනිකරම ජනතාව

පිට පැටවීමත්, උපදෙස් අවවාද අනුශාසනා දීමත් තව දුරටත් ප්‍රායෝගික නැත. ඒවා එසේ කරන අතරවාරයේ ම නැවත එවැනි තැන්වල ඩෙංගු මදුරුවා වර්ධනය වීමට ඉඩ නොතබන ආකාරයේ වැඩපිළිවෙළක් වුවමනාය. වගකිව යුත්තෙක් හරි හැටි නිරීක්‍ෂණය කළහොත් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා යොදවා ඇති පිරිස් ධූමායනය කිරීමවත් පිළිවෙළකට නොකරන බව සොයාගත හැක. ඩෙංගු යනු “ව්‍යාපෘති කණ්ඩායම්” මෙහෙය වීමෙන් නොව ඊට වඩා පුළුල් ප්‍රවේශයක් ගතයුතු වැඩපිළිවෙළක් බව අපේ විශ්වාසයයි.