පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනකු වෙත විධිමත් ලෙස සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඊයේ (25දා) නියෝග කළාය. මෙම සාක්ෂිකරුවන් දෙදෙනා වත්මන් තත්ත්වය ය…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනකු වෙත විධිමත් ලෙස සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඊයේ (25දා) නියෝග කළාය. මෙම සාක්ෂිකරුවන් දෙදෙනා වත්මන් තත්ත්වය යටතේ සෘජුව සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව විනිසුරුවරිය මෙම පියවර ගත්තාය. ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රතිපාදනවලට අනුකූලව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ විශේෂිත නිල ක්‍රමවේදය ප්‍රකාරව මෙම සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස මහාධිකරණයෙන් නියෝග කෙරිණි. ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය සාපරාධී ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. සිතාසි නිකුත් කෙරුණේ නඩුවේ 1 සහ 2 සාක්ෂිකරුවන් වන රාජෙන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන ඉන්දීය ජාතිකයින් දෙදෙනකුටයි. ඒ.ජේ.ඒ. අබේනායක