නේපාලය සහ චීනයට අයත් ටිබෙට් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පමණක් ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යා…

නේපාලය සහ චීනයට අයත් ටිබෙට් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පමණක් ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටි බව වාර්තා වනවා. ඒ අනුව නේපාලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් හා ආරක්ෂිතව පසුවන ලෙසයි කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම රසුවා, නුවාකොට්, ධාඩිං, ගෝර්කා සහ චිට්වාන් යන අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට වැඩිදුර ආරක්ෂිත පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන්නේ නම්, කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය වන 00 977 98 510 48 653න් හෝ විද්්‍යුත් තැපෑල ඔස්සේ වහාම සම්බන්ධ වන ලෙසද දැනුම් දෙනවා. මේ අතර නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව පළ කර තිබෙනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් සියලු දෙනාට සහ එම දුෂ්කර මොහොතට මුහුණ දී සිටින පවුල් සහ ප්‍රජාවන් වෙත සිය සංවේගය ප්‍රකාශ කරන බවයි. එමෙන්ම, ව්‍යසන තත්ත්වය හමුවේ සහන සහ ගැලවීමේ මෙහෙයුම්වල නිරතව සිටින නේපාල බලධාරීන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල කැපවීම ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අගය කර තිබෙනවා. නේපාල රජයට සහ ජනතාවට මෙම අභියෝගාත්මක කාලසීමාව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. මේ අතර නේපාලය සහ චීනයට අයත් ටිබෙට් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පිරිස 150 කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා. විදේශිකයන් ඇතුළු සිය ගණනක් අතුරුදහන්ව ඇති බවයි එරටින් වාර්තා වන්නේ. නේපාල සංචාරක මණ්ඩලයට පවසන්නේ අතුරුදහන් වූවන් අතර ඉන්දියාවෙන් පැමිණි 100කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයේ 54ක්, එක්සත් රාජධානියේ 33ක් සහ නේපාල ජාතිකයින් 100කට වැඩි පිරිසක් වන බවයි. මොවුන් අතරින් වැඩිදෙනෙක් කයිලාශ මානසසරෝවර් වන්දනාවේ පැමිණි පිරිස් සහ සංචාරකයින් බව සඳහන්. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශසීමා ආසන්නයේ පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. මායිම් මුරපොලවල් සහ ගොඩනැගිලි මතට විශාල ලෙස පස් සහ ජල කඳක් කඩා වැටී තිබෙනවා. සිද්ධියෙන් නේපාල පොලිස් නිලධාරීන්, හමුදා භටයින් 70කට අධික පිරිසක් මෙන්ම එම ප්‍රදේශයේ ජලවිදුලි ව්‍යාපෘතිවල සේවය කළ පිරිසක්ද අතුරුදහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මුලදී මෙම පස් කඩාවැටීමට හේතුව භූමිකම්පාවක් බව විශ්වාස කළද, ඇමරිකානු භූ විද්‍යාත්මක පර්යේෂණ ආයතනය තහවුරු කළේ වාර්තා වූ ප්‍රබල කම්පනය නායයෑමක් හේතුවෙන් ඇති වූ එකක් බවයි. මේ වන විට නේපාල හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පුළුල් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.