මියගිය පිරිස 177ට නගී 1500ක් අතුරුදන් : 579ක්ම විදේශිකයෝ ‘පරිකල්පනයෙන් ඔබ්බට ගිය විනාශයක්’ විශේෂඥයෙක් කියයි ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් නේපාලයේ ව්‍යසනකාරී හදිසි ගංවතුර ඇතිව තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. වීඩියෝ දර්ශන සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ලැබුණු තොරතු…
මියගිය පිරිස 177ට නගී
1500ක් අතුරුදන් : 579ක්ම විදේශිකයෝ
‘පරිකල්පනයෙන් ඔබ්බට ගිය විනාශයක්’ විශේෂඥයෙක් කියයි
ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් නේපාලයේ ව්‍යසනකාරී හදිසි ගංවතුර ඇතිව තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. වීඩියෝ දර්ශන සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ලැබුණු තොරතුරු මත පදනම් වූ මූලික තක්සේරුවකින් පෙනී යන්නේ බෝටේ කෝෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කෝලා වෙත අයිස් සහ පාෂාණ සුන්බුන් විශාල ප්‍රමාණයක් වැටී ඇති බවයි.
නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 1500 ඉක්මවා තිබේ. අතුරුදන් පිරිස අතරින් 579 දෙනකු පමණ විදේශිකයන් බව වාර්තා කර තිබේ.
2015 වසරේ පුද්ගලයන් 9,000කට ආසන්න පිරිසකට මරු කැඳවූ භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ආපදාව මෙයයි.
ග්ලැසියර් කඩා වැටීම නිසා මීටර් 200ක් උස රළ සහිත ‘සුනාමියක්’ ඇති වූ බව විශේෂඥයකු හෙළි කර තිබේ. එය ‘පරිකල්පනයෙන් ඔබ්බට ගිය විනාශයක්’ ලෙස ඔහු හඳුන්වන බව බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත්පත කියයි. කත්මණ්ඩු හි ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයකු වන බිෂාල් නාත් උප්‍රෙටි මෙය ‘නේපාලයේ විශාලතම ව්‍යසනයන්ගෙන් එකක්’ ලෙස විස්තර කරයි.
නේපාල- චීන දේශසීමාව ඔස්සේ පහළින් පිහිටි දිස්ත්‍රික්ක කිහිපයකට මෙම ආපදාවෙන් බලපෑම් එල්ල වී තිබේ. ජීවිත හා දේපළ විශාල ගණනක් විනාශ වී ඇති බව බලධාරීන් පවසන නමුත්, හානියේ නිශ්චිත ඇස්තමේන්තුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත. ගංවතුර හේතුවෙන් නේපාලයට පමණක් නොව චීනයට ද ‘විශාල හානි’ සිදුව තිබේ. නේපාල විදේශ අමාත්‍ය ෂිෂිර් ඛනාල් බ්‍රහස්පතින්දා පැවසුවේ ගංවතුරෙන් ඉන්දියානුවන් 300 කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
නේපාල සංචාරක මණ්ඩලයට අනුව, අතුරුදන්ව සිටින විදේශීය ජාතිකයන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 ක්, මැලේසියානු ජාතිකයන් 51ක්, දකුණු අප්‍රිකානු ජාතිකයන් 6 ක්, ඇමෙරිකානු ජාතිකයන් 65 ක්, ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් සිටිති.
නේපාලයේ සහ ටිබෙටයේ දැඩි විනාශයක් සිදුකළ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය විසින් සවිස්තරාත්මක ඇගයීම් වාර්තාවක් නිකුත් කර තිබේ. ගංගා පද්ධති වෙත ගසාගෙන ආ සුන්බුන් හේතුවෙන් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම වාර්තාව මගින් විශේෂඥයෝ අනතුරු අඟවති.
“එය කෙළින්ම අප දෙසට ආ විශාල පස් සහ මඩ සහිත ජල පහරක්” යැයි නේපාල රෝහලක ප්‍රතිකාර ලබන 68 හැවිරිදි කේෂව් ප්‍රසාද් බරාල් නමැති දිවි ගලවාගත් තැනැත්තෙක් පවසයි. ‘එය ළඟාවෙත්ම තවත් ඉහළ ගියා. එය අපේ ගෙදරට ඇතුළු වෙනවා දැක මම මගේ බිරිඳගේ අතින් අල්ලාගෙන උඩ තට්ටුවට යෑමට උත්සාහ කළා. නමුත් ඇය මඩ පස් පහරට ගසාගෙන ගියා.’ යනුවෙන් ඔහු පවසා සිටියේය..
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබේ. විශේෂයෙන් අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
යම් ශ්‍රී ලාංකිකයකුට හදිසි සහායක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 දුරකථන අංකය ඔස්සේ හෝ slemk.kathmandu@mfa.gov.lk හරහා ද සහාය ලබා ගත හැකිය.
කෙසේ වෙතත් නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් තත්ත්යෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් සිදුවී ඇති බවට වාර්තා නොවන බව කත්මන්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ.
ටිබෙට් හි ගියිරොන්ග් ප්‍රාන්තයේ අතුරුදන් වූ සංඛ්‍යාව 558 ක් බවත්, ඒ අතර විදේශිකයන් 260 දෙනකු සිටින බවත් චීන රාජ්‍ය නාලිකාවක් වන CCTV ප්‍රකාශ කරයි.
චතුර පමුණුව












