නූතන තාක්ෂණික දියුණුවත් සමග අපගේ දෛනික ජීවිතය ස්මාර්ට් ෆෝන්, පරිගණක, ටැබ්ලට් සහ රූපවාහිනී තිර මත සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින තත්ත්වයට පත්ව තිබේ. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක්ම අපගේ නෙත් නතර වී ඇත්තේ කුමක් හෝ ඩිජිටල් තිරයක් මතය. අධ්‍යාපනය, රැකියාව, විනෝදාස්වාදය…
නූතන තාක්ෂණික දියුණුවත් සමග අපගේ දෛනික ජීවිතය ස්මාර්ට් ෆෝන්, පරිගණක, ටැබ්ලට් සහ රූපවාහිනී තිර මත සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින තත්ත්වයට පත්ව තිබේ. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක්ම අපගේ නෙත් නතර වී ඇත්තේ කුමක් හෝ ඩිජිටල් තිරයක් මතය. අධ්‍යාපනය, රැකියාව, විනෝදාස්වාදය මෙන්ම සමාජ සබඳතා පවත්වා ගැනීම සඳහා ද මෙම උපාංග නැතිවම බැරි අංගයක් බවට පත්ව ඇත. නමුත්, මෙම තාක්ෂණික පහසුව පිටුපස සැඟවී ඇති ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් පිළිබඳව අප කෙතරම් දුරට සැලකිලිමත් වෙනවා ද? දිගුකාලීනව ඩිජිටල් තිර දෙස බලා සිටීම නිසා ඇතිවන “ඩිජිටල් ඇස් ආතතිය” (Digital Eye Strain) නොහොත් “කම්පියුටර් විෂන් සින්ඩ්‍රෝම්” (Computer vision Syndrome-CVS) යනු වර්තමානයේ අප රටේ ද වේගයෙන් ව්‍යාප්ත වන නිහඬ සෞඛ්‍ය ගැටලුවකි.
ඩිජිටල් ඇස් ආතතිය යනු කුමක්ද?
සාමාන්‍යයෙන් මිනිසෙකු මිනිත්තුවකට වාර 15ත් 20ත් අතර ප්‍රමාණයක් ඇසිපිය හෙළනු ලබයි. එමගින් ඇසේ තෙතමනය ආරක්ෂා වන අතර ඇසට අවශ්‍ය පෝෂණය හා සුමට බව ලැබෙයි. නමුත් ඩිජිටල් තිරයෙක් දෙස අවධානයෙන් බලා සිටින විට අප ඇසිපිය හෙළන වාර ගණන සියයට පනහකින් (50%) පමණ අඩුවන බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇස් වියළීම, ඇස්වල දැවිල්ල, ඇස් රතු වීම, පෙනීම තාවකාලිකව බොඳවීම, ඇස්වල තදබල තෙහෙට්ටුව මෙන්ම හිසරදය, ගෙල සහ කරපිට රිදීම වැනි සංකූලතා රාශියක් මතුවේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ අඳුරේ සිට ජංගම දුරකථන භාවිත කිරීම මෙම තත්ත්වය තවත් උග්‍ර කිරීමට ප්‍රධාන ලෙස ම හේතු වේ.
ශ්‍රී ලාංකේය සමාජය තුළ මෙම තත්ත්වයේ බලපෑම වර්තමානයේ ඉතා තදින් දැකිය හැක. කොවිඩ් වසංගත සමයෙන් පසුව ආරම්භ වූ මාර්ගගත අධ්‍යාපනය එහෙම් නැත්නම් මේ online අධ්‍යාපනය සහ නිවසේ සිට රැකියා කිරීමේ Work from Home සංස්කෘතියත් සමග පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාම ඩිජිටල් තිරවලට දැඩි ලෙස අබ්බැහි විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර කිට්ටු පෙනීමේ දෝෂ (Myopia) සහ ඇස්වල ආබාධ ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ නොකඩවා පැය ගණනක් ජංගම දුරකථන හා පරිගණක භාවිත කිරීමයි. මෙයින් පුද්ගලයාගේ දෛනික කාර්යක්ෂමතාව අඩුවන අතර, දිගුකාලීනව අවධානය යොමු කිරීමේ හැකියාව ද පිරිහෙයි. තවද, නින්ද නොයෑම වැනි මානසික හා ශාරීරික ගැටලු රාශියකට ද මෙය මග පාදයි.
ඩිජිටල් ඇස් ආතතියෙන් මිදීමට ප්‍රායෝගික විසඳුම් මොනවාද?
නූතන තාක්ෂණික සමාජය තුළ ඩිජිටල් උපාංග භාවිතයෙන් සම්පූර්ණයෙන්ම මිදීම ප්‍රායෝගික නොවේ. නමුත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් ඩිජිටල් ඇස් ආතතියෙන් ආරක්ෂා වීමට අපට හැකියාව ඇත. පළමුව 20-20-20 රීතිය අනුගමනය කිරීම. ඒ කියන්නේ පරිගණකය හෝ දුරකථනය දෙස බලන සෑම විනාඩි 20 කට ම වරක්, අඩි 20ක් දුරින් පිහිටි යමක් දෙස තත්ත්පර 20ක කාලයක් බලා සිටින්න. එමගින් ඇසේ පේශිවලට අවශ්‍ය ලිහිල් බව ලැබෙයි. ඒ විතරක් නොවේ. වෛi උපදෙස් මත කෘතිම කඳුළු බින්දු (Artifical Tears) භාවිත කිරීම ද සුදුසුය. ඊට අමතරව තිරයේ ආලෝකය ඒ කියන්නේ Brightness අවට පරිසරයේ ආලෝකයට ගැළපෙන සේ සකස් කරගන්න. පරිගණක තිරය ඇසේ සිට අඟල් 20-26 අතර දුරකින් තබා ගන්න. තවත් වැදගත් දෙයක් තමයි බ්ලූ ලයිට් (Blue Light) ෆිල්ටර් භාවිතය කියන්නේ. ඩිජිටල් උපාංගවල ඇති Night Mode හෝ Blue Light Filter පහසුකම සක්‍රිය කරන්න. අවශ්‍ය නම් Blue Cut කාච සහිත උපැස් යුවළක්ද භාවිත කළ හැක.
තාක්ෂණය යනු අපගෙක් දෛනික ජීවිතය පහසු කරන ප්‍රබල මෙවලමකි. නමුත් එහි අසීමිත හා නොසැලකිලිමත් භාවිතය අපගේ වටිනාම සම්පතක් වන නෙත් යුගලයට හානි කිරීමට ඉඩ නොදිය යුතුය. පාසල් වියේ පසුවන දරුවන්ගේ තිර කාලය (Screen Time) සීමා කිරීමට දෙමාපියන් වගබලා ගත යුතු අතර, රැකියාවල නිරත වන අයද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඩිජිටල් යුගයේ ජීවත් වන අප තාක්ෂණය සමග ඉදිරියට යන අතර ම අපගේ දෑස්වල සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීමට බුද්ධිමත්ව කටයුතු කරමු.
සටහන:- පී.එම්.එන්. සජානි පියරත්නකැලණිය විශ්වවිද්‍යාලය

