ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් විශිෂ්ටතමයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදය ඊයේ කඳුළින් අවසන් වුණා. ඒ, ඔහුගේ ලෝක කුසලාන සිහිනය සදහටම බොඳ කරමින්, ස්පාඤ්ඤය හමුවේ පෘතුගාලය ලැබූ පරාජයත් සමඟයි. ඇමරිකාවේ ඩලස් නුවර පැවති මෙම තීරණාත්මක තරඟයෙන් ස්පාඤ්ඤය ගෝල 1-0 ක්…
ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් විශිෂ්ටතමයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදය ඊයේ කඳුළින් අවසන් වුණා. ඒ, ඔහුගේ ලෝක කුසලාන සිහිනය සදහටම බොඳ කරමින්, ස්පාඤ්ඤය හමුවේ පෘතුගාලය ලැබූ පරාජයත් සමඟයි. ඇමරිකාවේ ඩලස් නුවර පැවති මෙම තීරණාත්මක තරඟයෙන් ස්පාඤ්ඤය ගෝල 1-0 ක් ලෙස ජය ගත්තා. ස්පාඤ්ඤය මෙම ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේ තරඟයේ අතිරේක කාලයේදී, එනම් 91 වන මිනිත්තුවේදීයි. ආදේශක ක්‍රීඩක මිකෙල් මෙරිනෝ ගෝලය වාර්තා කළා. මේ සමග ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර පෘතුගාලයට සිදුවන්නේ තරගාවලියෙන් ඉවත්ව යාමටයි. තරගය අවසානයේදී මේ වන විට 41 වන වියේ පසු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉමහත් හැඟීම්බර වුණා. ඔහු පිටියෙන් ඉවත් ගියේ දෑසින් කඳුළු ද සලමින්. මෙය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරඟාවලිය බව රොනාල්ඩෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔහු තම ක්‍රීඩා ජීවිතය තුළ ක්‍රීඩා සමාජ මට්ටමින් සහ ජාතික කණ්ඩායම වෙනුවෙන් රැස් කරගෙන ඇති මුළු ගෝල ගණන 976ක්. එහෙත්, පාපන්දු ලෝකයේ ඉහළම කිරුළ වන ලෝක කුසලානය දිනා ගැනීමට ඔහු නියෝජනය කළ කණ්ඩායමකට හැකිවී නැහැ. මේ අතර, පෘතුගාල කණ්ඩායමේ පරාජයත් සමඟ එහි ප්‍රධාන පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනස් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව තරඟයෙන් අනතුරුව නිවේදනය කළා. එසේ තිබියදී ක්‍රීඩා විචාරකයින් පවසන්නේ වයසින් මුහුකුරා ගිය රොනාල්ඩෝව දිගින් දිගටම කණ්ඩායමේ ආරම්භක සංයුතියට ඇතුළත් කරමින් වෙනත් දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව නොදීම නිසා පෘතුගාලයට මේ ඉරණම අත් වූ බවයි. පුහුණුකරු ඒ පිළිබඳ වගකීම භාරගත යුතු බවද ක්‍රීඩා විචාරකයන් පවසනවා. තරඟය අවසානයේ ප්‍රතිවාදී ස්පාඤ්ඤ කණ්ඩායමේ 18 හැවිරිදි තරුණ ක්‍රීඩක ලැමීන් යමාල්, හඬා වැටුණු රොනාල්ඩෝව වැළඳගෙන සනසන අයුරු දක්නට ලැබුණා. මෙයද ඊයේ තරඟයේ සංවේදීම අවස්ථාවක්. විචාරකයින් පවසන්නේ එය පාපන්දු ලෝකයේ පැරණි පරම්පරාවෙන් අලුත් පරම්පරාවට නායකත්වය මාරු වීම සංකේතවත් කළ ඓතිහාසික මොහොතක් බවයි.

