මහින්දට ගෝඨාට එදායන්නම ඕන මළගෙදර ඉරිදා හවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන්ට ඉතාමත්ම කුළුපග අයෙකුගේ මළගෙදරක් පිළිබඳ සංවේදී ආරංචියක් ලැබිණි. ඒ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ගේ මෑණියන් මියගිය පුවතයි. එම පුවත ආරංචි වූ සැණින් මහින්ද මහතා කීවේ වහාම මනෝජ්ලාගේ නි…
මහින්දට ගෝඨාට එදායන්නම ඕන මළගෙදර
ඉරිදා හවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන්ට ඉතාමත්ම කුළුපග අයෙකුගේ මළගෙදරක් පිළිබඳ සංවේදී ආරංචියක් ලැබිණි. ඒ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ගේ මෑණියන් මියගිය පුවතයි.
එම පුවත ආරංචි වූ සැණින් මහින්ද මහතා කීවේ වහාම මනෝජ්ලාගේ නිවසට යා යුතු බවය.
කලබල වෙන්න ඕනෙ නෑ සර්. භූමිදානය තියෙන්නේ බදාදා. අපට යන්න කල් තියෙනවා අද ඉරිදානේ.
ආරක්ෂක නිලධාරීන් එසේ කීවත් ජනාධිපති මහින්දට ඒ මොහොතේ එදාම එම මළ ගෙදරට යන්නට අවශ්‍ය විය.
කෙසේ හෝ මහින්ද එහි යන විට දේහය ගෙනවිත් නිවසේ තැන්පත් කර තිබිණි. ජනාධිපතිවරයා තම හිතවත් මිතුරාට අතිශය කනගාටුව ප්‍රකාශ කළේය.
ඔය අතර දේහයට අවසන් ගෞරව දක්වන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ සිටීම විශේෂත්වයකි.
ඔයාට නං ඉතින් ගොඩක් සෙනඟ එයි මළ ගෙදරට… මහින්ද කීවේය.
මං හිතන්නේ අපේ අය එයි. ඒ ඇරුනම සර් ගොඩක්ම ඉතින් අපේ වෘත්තියේ අයගේ පැමිණීම තමයි වැඩිවෙන්නේ.
ඉතින් පොලිටීෂියන්ලත් ඔයා ඇසුරු කරනවනේ.
ඒ වුණාට විපක්ෂයේ අය එයි කියලා හිතන්න අමාරුයි. අපි ඉතින් දැඩිව දේශපාලනය වෙනුවෙන් මත පළ කරන අයනේ. අද කාලෙ දේශපාලනය හින්දා තරහ වෙන අය වැඩියි. මනෝජ් කීවේය.
කෙසේ වෙතත් එම දින කීපය පුරාම රාත්‍රියේ නීතිඥ වෘත්තිකයෝ විශාල පිරිසක් මනෝජ් වෙනුවෙන් එම නිවසේ රැඳී සිටිනු දැකගත හැකි විය.
සෑම දිනකම රාත්‍රියේ එම මළ ගෙදර දේශපාලන හා සමාජ සංවාදවලින් පිරුණු තැනක් විය. වර්තමානයේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙමින් නීති ක්ෂේත්‍රය එන්න එන්නම අර්බුදයට යන ආකාරය ගැන ඇතැම් අය එහි මත පල කරමින් සිටියහ.
ඉහළ උසාවිවල පුරප්පාඩු, ඉහළ උසාවිවල විනිසුරුවන්ගේ සේවා කාලය ආදී මාතෘකා ගණනාවක්ම තිබුණු අතර දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ එක් දිනක් බොහෝ දෙනාගේ අවධානයකට තුඩු නොදුන් මාතෘකාවක් එහිදී කතාබහට ලක්වීමයි.
මාතෘකාව අධිකරණ සේවා කොමිෂන් සභාවේත් පහුගිය මාර්තු මාසයේ සිට මේ ඊයේ පෙරේදා දක්වාම එක්තරා පුරප්පාඩුවක් පැවතීමයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව යනු යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රයට විනිශ්චයකාරවරුන් තෝරාගන්නා, පත් කරන හා මාරු කිරීම් කරන නිල ලත් ස්වාධීන ආයතනයයි. අලුතින් විනිශ්චයකාරවරු බඳවා ගැනීම් පටිපාටිය පවත්වාගෙන යන්නේ ඔවුන්ය.
කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනෙකි. සභාපති අගවිනිසුරුවරයාය. සෙසු සාමාජිකයන් දෙදෙනා පත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනාගෙනි.
පසුගිය මාර්තු මාසයේ කොමිෂන් සභාවේ සාමාජික තුරේ රාජා විනිසුරුතුමා විශ්‍රාම ගියේය. ඊළඟට එම තනතුර සඳහා පත් කිරීමට නියම සුදුස්සාව සිටියේ යසන්ත කෝදාගොඩ මහත්මාය. සාමාන්‍යයෙන් සතියක් දෙකක් ඇතුළත එම පුරප්පාඩුව ඉතා ඉක්මනින් පිරවීම සිරිතයි. ඒත් මාස ගණනක් යනතුරුත් අග විනිසුරුවරයාගේ උපදෙස් පරිදි සුදුස්සෙකු ජනාධිපතිවරයා විසින් නම් කළ යුතු එම තනතුර කිසිවකුත් පත්කරන්නට පියවර ගත්තේ නැත.
මාස කීපයකට පසු නොකරම බැරි තැන යසන්ත කෝදාගොඩ මහතාට එම ස්ථානය හිමිවිය.
ඔහුගේ එම පත්කිරීම ප්‍රමාද වූයේ ඇයිදැයි කියා ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ එක එක කතා කියන්නට වූහ. ඇතමෙකු ගේ අදහස වූයේ නීති ක්ෂේත්‍රයේ ඉහළම පුටුවක සිටින අයකු යසන්ත කෝදාගොඩ මහතා සමග යම් අරියාදුවක සිටින නිසා මේ පත්වීම ප්‍රමාද වූ බවයි.
ඒ අතර තවත් අයෙක් විශේෂ කරුණක් කීවේය.
“මං හිතන්නේ තත්ත්වය ඔයිට වඩා වෙනස්. අපේ ෆීල්ඩ් එකේ ඉහළම පුටුවක ඉන්න කෙනෙක්ගේ දරුවෙකුයි තව ජජ්ලා දෙන්නෙකුගේ දරුවො දෙන්නෙකුයි මේ පාර ඉන්ටර්විව් එකට පෙනී ඉන්නවා. ඒකට බලපෑමක් එයි කියලා විශ්වාස කරලා අදාළ මහත්තයාව පත් නොකර හිටියා කියලාත් කතාවක් යනවා….” ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් කීවේය.
ඇතුළාන්තයේ පවතින එබඳු අලුත් අලුත් කතා ඉහළ පෙළේ නීතිවේදීන් අතර හුවමාරු වන ආකාරය එහි සිටි මාධ්‍යවේදීන් කීප දෙනකුගේ ද නිරීක්ෂණයට බඳුන්ව තිබුණේ ඔය ආකරයටය.
තෙල් මිල අඩු නොවීම ගැනචම්පික කළ හෙළිදරව්ව
ගල්ෆ් කලාපයේ යුද උණුසුම ටිකෙන් ටික අඩුවී හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වීමෙන් පසුව ලොව තෙල් මිල ශීඝ්‍ර ලෙස පහත බසින්ට පටන්ගත්තේය. එහෙත් එම පහත වැටීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඩීසල් පෙට්‍රල් හා අනෙකුත් ඉන්ධන වර්ගවල මිල අඩු නොවීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ ලොකු කතිකාවක් නිර්මාණය විය.
ඊට සාපේක්ෂව චම්පික රණවක පහුගිය දවස්වල මාධ්‍ය හමුවකදී එක්තරා විශේෂ හෙළිදරව්වක් කළේය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත බැස්සත් ඒ වාසිය මේ ආණ්ඩුව රටේ ජනතාවට ලබා නොදෙන්නේ ඇයිද කියන එක චම්පික එහිදී හොඳින් පැහැදිලි කළේය.
“මේ ආණ්ඩුව පහුගිය කාලේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ගල්ෆ් යුද්ධය මත පටවලා ඇඟ බේර ගත්තා. මොන ප්‍රශ්න ආවත් ගල්ෆ් යුද්ධය නිසා කරන්න බෑ කියන එක තමයි එයාලා කිව්වේ. හැබැයි දැන් ඔන්න ගල්ෆ් යුද්ධය නිරාකරණය වන තත්ත්වයක් ලෝකේ ඉස්මතු වෙලා. ඒ ප්‍රවණතාව මත හෝමූස් සමුද්‍ර සන්ධිය පවා ඇරිලා.
බොර තෙල් බැරලයේ මිල ඩොලර් 70 දක්වා පහත වැටිලා. හැම දේටම ගල්ෆ් යුද්ධය මත ගලප්පපු මේගොල්ලෝ ගල්ෆ් යුද ප්‍රශ්නය ඉවර වුණාම දැන් කියනවා තෙල් මිල පහත හෙළන්න බැරි දැන් මේ තියෙන්නේ වැඩි මිලට ගනිපු තෙල් නිසා කියලා.
මේගොල්ලොත් තෙල් ගෙනාවේ ගල්ෆ් කලාපයෙන් නෙවෙයි. මේගොල්ලො තෙල් ගෙනාවේ සිංගප්පූරුවෙන්. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ තෙල් මිලදී ගැනීමේදී එක්තරා සමාගම් දෙකක් යටතේ අධික මිලට තෙල් අරගෙන එම සමාගම්වලට අධික ලාභයක් ලබා දුන්නා.
එම සමාගම්වලට මේ ආණ්ඩුවේ තියෙන සම්බන්ධය මොකක්ද කියන එක අපි පැහැදිලි කරනවා ඉස්සරහට. අපි වගකීමකින් කියන්නේ. මේගොල්ලෝ ඩීසල් ලීටරයක් සඳහා “ක්‍රැෆිකියුරා” කියන සමාගමට රුපියල් 90ක් වැඩිපුර ගෙව්වා. ඒ වගේම තමයි “ආදිත්‍ය බීර්ලා” කියන ඉන්දියානු සමාගමට මේගොල්ලෝ ලීටරයට රුපියල් 120ක් වැඩිපුර ගෙව්වා. මේ මුදල් ගියේ කොහෙටද, කාගේ සාක්කුවටද, නැද්ද එහෙනම් ඒ සාක්කුව කාගේද කියන එකත් මේ රටේ බුද්ධිමත් ජනතාව හොයලා බලන්න ඕන.
ලෝකෙ තෙල් මිල වැඩි වෙච්ච ගමන් අපේ අඩු මිලට ගෙනාපු පරණ තෙල් තොග පවා වැඩි මිලට විකුණලා අධික ලාභයක් ලබා ගත්ත මේ ආණ්ඩුව අද ලෝක තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ ඒ වාසිය ජනතාවට නොදී ජනතාව රවට්ටන්න බොරු කයිවාරු ගහනවා. වෙන කවුරු කිව්වත් කමක් නෑ. හැබැයි මේ බලන්න අගමැතිනියත් ඔය ටිකම කියනවා. මේක හතර විලි ලාජ්ජාව නැති රට කාබාසිනියා කරන ආණ්ඩුවක්…”
චම්පික ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කරමින් ඛනිජ තෙල් මිල පාලනය කරගන්නට බැරිවීම ගැන දොස් නඟමින් එසේ කරන ලද අදහස් ප්‍රකාශය අපේ රටේ දේශපාලන කරළිය උණුසුම් කර, එය වටා සංවාදයක් ගොඩනඟන්නට සමත්වූවාය. එහෙත් අපට දැක ගත හැකි වූයේ ආණ්ඩුව එය ඉතා සැහැල්ලුවෙන් කනකට නොගෙන මගහරින ප්‍රශ්නයක් ලෙස නොතකා හරින්නට ගනු ලැබූ උත්සාහයයි.
පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. සතිය ආරම්භයේ අඟහරුවාදා එනම් 23 වැනිදා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුණේ වැට් බදු සංශෝධන පනතයි.
පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව රජය සහ විපක්ෂය එක්ව තීන්දුවක් ගෙන සිටියහ.
මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය මේ සතියේ දී පාර්ලිමේන්තුවේ වෙනත් කරුණක් පිළිබඳව අවධානය යොමු කරන්නට සූදානමක සිටියේය. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති
රැස්වීමකදී මේ පිළිබඳව තීන්දුවක් ගත් සමගි ජනබලවේගය එය ඉතා රහසක් ලෙස මාධ්‍යවලට හෙළි නොකර තබාගන්නට කතිකා කර ගත්හ.
ඒ අනුව පසුදා උදේ, එනම් විසි තුන්වෙනිදා පාර්ලිමේන්තුවට ගිය විපක්ෂයේ ක්‍රියාකාරීන් තමන් කරන ලද සැලසුමට අනුව එදින වැඩකටයුතුවලට සූදානම් වූහ.
මේ අතර ආණ්ඩු පක්ෂය සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව වැට් බදු සංශෝධන පනත ගෙන එමින් එහි ඉදිරි කටයුතු කරමින් සමගි ජනබලවේගයේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා නැඟිට තම පක්ෂයේ යෝජනාව ඉදිරිපත් කළේය.
ඔහු තම කණ්ඩායමේ මන්ත්‍රීවරු විසි දෙනකුට නැඟී සිටින්න යැයි කියමින් ස්ථාවර නියෝග 19/1 යටතේ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ සීමාව අවුරුදු 67 දක්වා වැඩි කිරීම, එම උසාවි දෙකෙහි පවතින පුරප්පාඩු අටක් පුරවන්නට කටයුතු නොකිරීම හා එමගින් පහළ උසාවිවල සිටින නඩුකාරයන්ට උසස් වීම් ලබා ගැනීමට නොහැකි වීම ආදී කරුණු මත මහජනතාවගේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරයට බාධා සිදුවීම් ආදී එකින් එක ගැටගැහුණු කාරණා කීපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා අජිත් පී. පෙරේරා යෝජනාවක් ඉදිරිපත් කළේය.
සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමේදී එවන් විවාදයක් විපක්ෂයට නොලැබෙන්නේ නම් ස්ථාවර නියෝගයන්හි දහනමය එක යටතේ පවතින මෙම ප්‍රතිපාදනය අනුව විපක්ෂයට පැය දෙකක විවාදයක් ලබාගත හැක්කේය.
විවාදයක් අරගන්නටවිපක්ෂයක් යෙදූ උපාය
ඔවුන් මීට පෙරත් සති කීපයකට උඩදී මෙම උපක්‍රමය පාවිච්චි කරමින් විවාදයක් ලබා ගත්තේය. එය රජය සැලකුවේ මන්ත්‍රීවරුන් 159ක බහුතරයක් තබාගෙන සිටියදීත් ඔවුන් ලද මහත් අවමානයට කරුණක් ලෙසයි.
අජිත් පී. පෙරේරා ගේ මෙම යෝජනාව ගහෙන් ගෙඩි එන්නට මෙන් පැමිණි සැනින් කථානායකවරයා කළේ එය සභානායක බිමල් රත්නායකගෙන් විමසා බලන්නට කටයුතු කිරීමයි.
කෙසේ වෙතත් මෙයට විපක්ෂයෙන් ලොකු විරෝධයක් ගොඩනැඟිනි. එම විරෝධය නොතකා කථානායකවරයා සභානායකගෙන් ඒ පිළිබඳ විමසා සිටියදී සභානායක කීවේ මෙම අවස්ථාවේ ප්‍රමුඛත්වය දීමට වැට් බදු සංශෝධනය කිරීමේ විවාදය ඇතුළු වැඩකටයුතු කිහිපයක්ම මේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇති බැවින් මෙම යෝජනාව සලකා බැලීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ බවයි.
“කථානායකතුමනි… ඔබතුමා කරන්නේ වරදක්. ස්ථාවර නියෝග 19/1 යටතේ විපක්ෂයෙන් මේ වගේ යෝජනාවක් ගෙනාවම ඔබ සභා නායකගෙන් අහ අහ ඉන්න දෙයක් නෑ. ඔබට තීන්දුවක් ගන්න පුළුවන්… දයාසිරි ජයසේකර තර්ක කළේය.
එවෙලේ මහත් ගාල ගෝට්ටියක් පාර්ලිමේන්තුවේ ඇති විය. සභා නායකවරයාට ලබා දුන්නා සේ තමන්ටත් වෙලාව ලබා දෙන්නයි ප්‍රස්තුතයට එළැඹි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බරපතළ ලෙස ස්ථාවර නියෝගවල කරුණු පැහැදිලි කරමින්, මෙම විවාදය රටට ඉතා වැදගත් කාරණාවක් බව පෙන්වා දෙමින් විපක්ෂයේ අයිතිය ගැන කතා කරන්නට පටන් ගත්තේය. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතින් බැහැර වෙන්නයි ඔහු රජයට යෝජනා කළේය.
එහෙත් රජය දැඩි තීන්දුවක සිටි බැවින් කථානායකවරයාට කිසිවක් කර කියාගත නොහැකි විය. කථානායකවරයාට සභානායකවරයාගේ පිළිසරණ මිස වෙනත් පිළිසරණක් නොමැති බව ඔහුගේ හැසිරීමෙන් මේ අවස්ථාවේ මැනවින් ඔප්පු විය.
කථානායකතුමනි ඔබතුමා ස්ථාවර නියෝග 146 යටතේ කටයුතු කරන්න. සභානායක කථානායකට උපදෙස් ලබා දුන්නේය.
මෙම ගැටුම දුරදිග ගිය බැවින් විපක්ෂය පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි කරන්නට වූහ. සමගි ජන බලවේගයේ සහ වෙනත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු සභා ගැබේ මැදට බැස සටන් පාඨ කියමින් උද්ඝෝෂණ කරද්දීම කථානායකවරයා මහත් අපහසුවෙන් විවාදය පවත්වාගෙන යන්නට උත්සාහ කළේය.
අවසානයේ සභා ගර්භයේ තැන්පත් කර තිබූ සෙංකෝලය උස්සාගෙන යන්නට විපක්ෂය උත්සාහ කළ අතර පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය හා කාර්ය මණ්ඩලය සෙංකෝලේ ආරක්ෂා කරගන්නට දැඩි උත්සාහයක නිරතව සිටින බව පෙනෙන්නට විය.
කෙසේ වෙතත් මෙම දැඩි උණුසුම්කාරී වාතාවරණය පාලනය කරගන්නට පාර්ලිමේන්තුව විනාඩි දහයකට අත්හිටුවන්නට කථානායකවරයාට සිදුවිය.
ලාල්ලා කියනකොට එහෙමයිටී. බී.ලා කරනකොට මෙහෙමයි
පසුගිය දිනවල නෙළුම් මාවතේ පැවැති ආසන සංවිධායකයින් පත් කිරීමේ හා ඔවුන්ට උපදෙස් ලබාදීමේ රැස්වීමකින් පසුව නාමල් සමග එක්වූ පොහොට්ටුවේ නායකයෝ කීප දෙනෙක් කතා බහ කරමින් සිටියේ මෙසේය.
ගොවි සංවිධානයක සභාපති කෙනෙක් මට කතා කළා. මහින්ද මහත්තයගෙ හොඳ කිවුවා. ඒ දවස්වල හැමෝම ගාව සල්ලි තිබුණා කියලා වීවලටත් හොඳ මිලක් දුන්නා කියලා නාමල් පැවසීය.
අපෝ දැන් ලාල් කාන්ත ඇමැති කෙළින්ම කිවුවා ඒ ගාණට වී ගන්න බෑ කියලා… ඒ විතරක් නෙවෙයි දැං ඔය වී විකුණන්නේ හැබෑ ගොවියො නොවෙයි කියලත් ලාල් කියනවනේ. දැන් නාමල්ලාට ලාල්ලට ගොවි ජනතාව ඉන්න පැත්තෙවත් යන්න බෑ ඩීවී පැවසීය.
අර ප්‍රස්ථා පිරුලකුත් තියෙන්නෙ ‘කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි’ කියලා නාමල් පැවසීය.
ඔබතුමාගේ පියා රට පාලනය කරපු ඒ කාලෙ හාල් මිලත් අඩුයි. පාරිභෝගික ජනතාවටත් වාසියි. ගොවියන්ටත් වාසියි…” ජොන්ස්ටන් පැවසීය.
ඔව් ජොනී ඇමැතිතුමා… ඔබතුමානෙ ඒ දවස්වල වෙළඳ ඇමැති. කොච්චර නම් ආණ්ඩුවෙන් වී ගත්තද…. වී අස්වැන්න එන කාලෙට නිවැරදිව හාල් පිටරටින් ගේන එක නවත්තලා වෙළඳපොළ කළමනාකරණය කළා…” ඩී.වී පැවසීය.
මම හෙට මේ පොහොර ප්‍රශ්නෙ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනවා නාමල් පැවසීය.
“ඔව් ඒක හොඳයි… පොහොර ප්‍රශ්නෙ විතරක් නෙවෙයි නායකතුමා… පොදුවේ මේ ආණ්ඩුව ගොවියට කරන අසාධාරණය ගැනත් කතා කරන්න…” ජොනී පැවසීය.
පසුවදා නාමල් පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කළේය. කතාව ඉවර කර එළියට පැමිණෙමින් සිටියදී නාමල්ට සජබෙ මන්ත්‍රීවරු පිරිසක් හමුවිය.
“නාමල් මන්ත්‍රීතුමා නියම කතාවක්නෙ අර කසිප්පු කතාව තමයි මරු යැයි පැවසීය.
“ඔව් මේ අය ඒ දවස්වල ගොවියොත් හූරන් කාලා දැන් ඉල්ලීම් ඉල්ලනකොට කියනවා කසිප්පුකාරයෝ කියලා නාමල් පැවසීය.
“ඔන්න මම අපේ අයට කිවුවා සජබෙ ඉලක්ක කරගෙන මොකුත් කියන්න එපා කියලා නාමල් එතැන සිටි සජබ මන්ත්‍රීවරුන්ට පැවසීය.
එතැන සිටි සජබ මන්ත්‍රීවරු ඔව් ඒක හොඳයි නාමල් මන්ත්‍රීතුමා යැයි පැවසීය.
මම අපේ අයට කිවුවා අපිට තියෙන්නෙ ආණ්ඩුව එක්ක ප්‍රශ්නයක් මිස විපක්ෂය එක්ක නෙවෙයි කියලා. අපිට විපක්ෂය එක්ක පැටලෙනවට වඩා කරන්න ඕනෙ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරලා දෙන එක නාමල් එසේ පවසමින් එතැනින් පිටත් විය.
නාමල් පසුගිය සතියේ විදේශගත වූ අතර නාමල්ට එහිදී වට්ස්ඇප් එකෙන් වීඩියෝවක් ලැබී තිබිණි. එහි තිබුණේ නාමල්ගේ පුතුන් දෙදෙනා නාමල්ට පියවරුන්ගේ දිනයට කාඩ්පතක් පිළියෙල කරන ආකාරයයි.
මෙහිදී නාමල්ගේ පුතුන් දෙදෙනා ඉතාම ලස්සන කාඩ්පතක් සකසා තිබිණි. මෙහිදී පුතුන් දෙදෙනාම ‘හැපී ෆාදර්ස් ඩේ’ කියමින් නාමල්ට සුබ පතා තිබිණි. අනතුරුව නාමල් ලිමිණිගේ දුරකථනයට වීඩියෝ ඇමතුමක් ලබා දෙමින් සිය පුතුන් දෙදෙනාට කතා කිරීමටද අමතක නොකළේය.
පාර්ලිමේන්තුවේ පාළුවජනපති නිසා නැතිවෙලා
බ්‍රහස්පතින්දා දිනය උදේ වරුව බලන විට පාර්ලිමේන්තුව තුළින් ඉමහත් පාළු කනස්සලු ස්වභාවයක් ගත්තේ යැයි කීවොත් එය නිවැරදිය. ඊට හේතුව පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සහභාගී වන විපක්ෂයේ කථිකයෝ සියලුම දෙනා පාහේ එදින වෙනත් රාජකාරියක් සඳහා බදුල්ලට ගොස් සිටි නිසාය.
එදින බදුල්ල උසාවියේ නඩුවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව පොලිසිය විසින් 2016 සිදු වූ සිද්ධියකට අදාළව ගොනුකරන ලද නඩුකරයක් ්‍රබ්‍රහස්පතින්දා විභාගයට ගැණුනු අතර එහි තීන්දුවක් ද ලබාදීමට නියමිතව තිබිණි.
“මේ නඩුව ටිකක් චමින්දට අවාසියට යන්නේ. චමින්ද ඉන්නෙ කලකිරීමෙන්. චමින්ද නඩුවලට හැමෝටම උදව් කරනවා. යනවා පෙනී ඉන්නවා. ඒ උනාට බදුල්ලේ චමින්ද නඩු කියන්නේ තනියෙන්… සුජීවයි දයාසිරියි මේ කතාව කරනු ලැබූයේ පහුගිය් සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමක් අතරතුරදීය.
“එහෙනම් හොඳම වැඩේ අපි කට්ටිය ටි්‍රප් එකක් යන්න වගේ චමින්දගේ නඩුවට බදුල්ලට යමු. චමින්දටත් නොකියම යෑම ඒක තමයි ලස්සන.
එසේ කියූ මන්ත්‍රීවරු හය දෙනෙක් පසුගිය බදාදා හවස එකම වෑන් රථයක නැගී අධිවේගී මාර්ගය ඔස්සේ ඇල්ල ප්‍රදේශය බලා පිටත්ව ගියහ.
සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, සුජිත් සංජය, නලින් බණ්ඩාර, ජේ. සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි මෙසේ කල්තියා ගමනට සහභාගී වී සිටියහ.
එය කාට කාටත් ගමන් වෙහෙස නොදැනුණු ඉක්මන් විනෝද බර ගමනක් වූයේ පටන්ගත් වෙලේ පටන් ඇල්ල පුරවරයට ළඟාවන තෙක්ම දයාසිරි දිගින් දිගටම ගීත ගායනා කරන්නට පටන් ගෙන තිබීම නිසාය.
ඔවුන් එදා රාත්‍රිය ගත කළේ ඇල්ල පුරවරයේ තිබෙන චාමර සම්පත් දසනායකට අයත් සංචාරක නිකේතනයකය.
පසුදා උදෙන්ම බදුල්ල උසාවියට මේ කණ්ඩායම එන විට චමින්ද විජේසිරි පුදුමයෙන් බලා සිටියේය. කෙසේ වෙතත් එපමණක් නොව කොළඹින් තවත් විපක්‍ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් මේ නඩුකරේට පැමිණ සිටීම චමින්දට මහත් සතුටට කාරණාවක් මෙන්ම හයියක් ද විය. චාමර සම්පත්, කබීර් හෂිම්, මුජිබර් රහුමාන්, නාලක කොලොන්න ඇතුළු මිතුරන් පිරිස දුටු චමින්ද විජේසිරි ට සතුට ඉහ වහා ගොස් සිටියේය.
පාර්ලිමේන්තුව කරදරකාරයන්ගෙන් මිදුණු තැනක් වී තිබීම නිසා කථානායක ජගත් වික්‍රමරත්නට ද ලොකු සහනයක් දැනෙන්නට වූවාට සැකයක් නැත. එහෙත් දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණියේය. ජනාධිපතිවරයා පැමිණ සභාගැබේ විශේෂ කතාවක් ද කරන්නට අමතක නොකළේය. තරමක් දිග දුර ගිය විවේචනාත්මක දේශනයක් ලෙස කැපී පෙනුණු එකක් විය.
කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ. අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා. අපිට ලැබුණු ජනවරමේ හරය අනුව මේ රාජ්‍යය ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා. අද රට දිගුකාලීන ස්ථාවර ගමනකට පය තබා තිබෙනවා.
මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවක් වූ බවත්, වත්මන් ආණ්ඩුව එම පොදුජන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට ගෙන ඒමේ වගකීම ඉටු කරන බවත් අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මේ අභියෝගාත්මක කතාව තුළින් තවත් විශේෂ කරුණක් මතක් කළේය. පහුගිය කාලයේ දිගින් දිගටම බලයේ සිටි ආණ්ඩු විසින් කරනු ලැබූ අපරාධ ඝාතනයන් හා පහරදීම් පිළිබඳව සමාජය පුළුල් පරීක්ෂණ හා සාධාරණය ඉටු වීම ඉල්ලමින් සිටින බව ඔහු මතක් කළේය. ඒ වෙනුවෙන් ඉදිරියේදී නිසි පරීක්ෂණ සිදුවනු ඇතැයි ඔහු කීවේය.
ජනාධිපතිවරයාගේ ඒ දිගු කතාවෙන් පසුව ඊට උත්තර දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කරන ලද කතාව කැපී පෙනෙන එකක් විය.
“ඔව් ජනාධිපතිතුමා… ඒ කාලේ ඒ විදියට සිද්ධ වෙච්ච ඝාතන ගැන, තාඩන පීඩන ගැන, මර්දන ගැන, අපරාධ ගැන, පහරදීම් ගැන පරීක්ෂණ කරලා ඒවයි අපරාධකාරයින්ට නිසි දඬුවම් දෙන එක හොඳයි. ඒවා අතීතයේ කාලයේ වැලිතලාවෙන් වැහිලා යන්න දෙන්න එපා. හැබැයි අන්න ඒ වගේම නීතියේ සමානාත්මතාවය හැමෝටම එක වගේ ලබාදෙමින් මෙන්න මේ ටිකත් පුළුවන් නම් කරන්න…. පහුගිය කාලයේ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ත්‍රස්තවාදයෙන් මරා දැමුණු අයත් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අතර තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වගේ මාධ්‍යවේදීන් ගණනාවක් ඉන්නවා. රටේ නම ගිය සුප්‍රසිද්ධ දේශපාලනඥයෝ ඉන්නවා. රටක් වටින හාමුදුරුවරු ඉන්නව. ඒ වගේම තමයි කතරගම පෙරහැරට ත්‍රස්තවාදීන් පහර දුන්නා. අන්න ඒ වෙලාවෙ නිලමේ හැටියට හිටියේ මගේ බාප්පා. ඒ බෝම්බ ප්‍රහාරයෙන්ම දහතුන් දෙනෙක් මියගියා. අන්න ඒ ගැනත් සාධාරණ පරීක්ෂණයක් කරලා සාධාරණය ඉෂ්ට කළොත් තමයි ජනාධිපතිතුමා ඔබතුමාගේ ප්‍රකාශයේ වටිනාකම වඩ වඩාත් අර්ථවත් වෙන්නේ…”
රංජිත් මද්දුම බණ්ඩාර කළ කතාවෙන් පසු බොහෝ දෙනා ඔහු ළඟට පැමිණ ඔහුගේ ප්‍රතිචාර දැක්වීම ගැන ස්තූතිවන්ත වන්නට අමතක නොකළහ.
ඔබතුමාගේ කතාවත් අහන්න ඉන්නයි තිබුණේ…
හිටියේ නැතුවට කමක් නෑ…. මට ඕන වුණේ ඔන්න ඒගොල්ලන්ගේ දෙබිඩි පිළිවෙතත් මිනිස්සුන්ට මතක් කරලා දෙන්න… ඒගොල්ලොන්ගේ ප්‍රශ්න වෙනුවෙන් එක විදිහකටත් අනිත් අයගේ ප්‍රශ්න වෙනුවෙන් තව විදියකටත් බලන එක ගැන අපි මේ රටේ ජනතාවට මේ විදියට හෙළිදරව්වේ කරලා ඇත්ත කියල දෙන්න ඕන. මේගොල්ලෝ බැඳගෙන ඉන්න වෙස් මූණු ගලවල දාන්න ඕන. එතකොට තමයි ජනතාව මේ රටේ සත්‍යය පැහැදිලි කරගන්නෙ.
බුලිත ප්‍රදීප් කුමාර

