17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජනය කර, මත්ද්‍රව්‍ය ජාවාරමකට නතුකරගෙන සිටීමේ පුවතක්, එම සිසුවා මත්ද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ අනාවරණය කර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2…

17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජනය කර, මත්ද්‍රව්‍ය ජාවාරමකට නතුකරගෙන සිටීමේ පුවතක්, එම සිසුවා මත්ද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ අනාවරණය කර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලදැයි සැක කෙරෙන රුපියල් දහ අට ලක්‍ෂ හාරසියයක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවූ පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නව හෙට්ටිවීදිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී සැකකටයුතු ලෙස ගමන් ගත් මෙම සිසුවා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ඉටි බෑගයක තිබූ විශාල මුදල් නෝට්ටු තොගය පිළිබඳ ඇතිවූ සැකය මත පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ දැඩි පරීක්ෂාවකදී, ඔහු ඇඳ සිටි යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මීට මාස කිහිපයකට පෙර පාසල් ගොස් නිවසට පැමිණෙන අවස්ථාවකදී නාඳුනන පුද්ගලයෙකු තමන්ට මරණීය තර්ජනය කර ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන ඇති බවයි. පසුව බෑගයක් ලබාදී එය නිවසේ සඟවා තබන ලෙසත්, ඇමතුමක් ලබාදීමෙන් පසු දැනුම් දෙන ස්ථාන වෙත රැගෙන යන ලෙසත් අණ කර තිබෙනවා. ඇතිවූ බිය හේතුවෙන් අදාළ පාර්සල් විවෘත කර නොබැලූ බවත්, ලැබෙන දුරකථන ඇමතුම් අනුව මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩ යන ප්‍රදේශවලට මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් සිසුවා ප්‍රකාශ කළ බවයි පොලීසිය පැවසුවේ. ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල් වැය කර කොත්තු රොටි වැනි ආහාර මිලදී ගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ මුදල් බෑගය කාන්තාවන් දෙදෙනෙකු විසින් සිසුවා වෙත ලබාදී, එහි තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුව සඟවාගෙන යන ලෙස උපදෙස් දී ඇති බවයි. අත්අඩංගුවට ගත් මෙම සිසුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථයක් සහ B සාමාර්ථ දෙකක් ලබාගත්  සිසුවෙකු වනවා. ඔහු වෙරළබඩ, විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක්. ඔහුගේ දෙමාපියන් පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආපනශාලාවක් පවත්වාගෙන යන අතර නිවසේ රැඳී සිට ඇත්තේ සිසුවා සහ ඔහුගේ නැගණිය පමණයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.