පාස්කු ප්‍රහාරය පවුලක බලය වෙනුවෙන් කළ අපරාධයක් මත්ද්‍රව්‍ය හා පාතාලය මඬින්න පොදුජන සහාය ඕනෑ මාස කිහිපයක් ඇතුළත ත්‍රස්තවාදී පනත අහෝසි කරනවා අපරාධකරුවන් මරා දැමීමට වගේම බේරාදීමටත් සල්ලි ගන්නවා මහජන ධනය හොරාකන පිරිස් ඇල්ලීමේ මහජන අපේක්‍ෂාවට අපි පණ පොවනවා උපරිමාධිකරණ පුරප්පාඩු ළඟදීම…

පාස්කු ප්‍රහාරය පවුලක බලය වෙනුවෙන් කළ අපරාධයක් මත්ද්‍රව්‍ය හා පාතාලය මඬින්න පොදුජන සහාය ඕනෑ මාස කිහිපයක් ඇතුළත ත්‍රස්තවාදී පනත අහෝසි කරනවා අපරාධකරුවන් මරා දැමීමට වගේම බේරාදීමටත් සල්ලි ගන්නවා මහජන ධනය හොරාකන පිරිස් ඇල්ලීමේ මහජන අපේක්‍ෂාවට අපි පණ පොවනවා උපරිමාධිකරණ පුරප්පාඩු ළඟදීම පුරවනවා මහෙස්ත්‍රාත්වරු 33ක් අලුතින් බඳවා ගත්තා පසුගිය වසර දෙකේ එක කඳුළු ගෑස් එකක් ජනතාවට එරෙහිව භාවිත කරලා නෑ සෙංකෝලය රැගෙන යෑම වීර ක්‍රියාවක් නොව අශිෂ්ට ක්‍රියාවක් දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබාදීමේ මහජන අපේක්ෂාවට ආණ්ඩුව පණ පොවනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදුකළ අයට දඬුවම් ලබාදීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවක් වූ බවත්, වත්මන් ආණ්ඩුව එම පොදුජන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට ගෙන ඒමේ වගකීම ඉටුකරන බවත් අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට ඊයේ (25 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි. ජනතාව වත්මන් රජයට ලබාදුන් ජනවරමේ හරය වන්නේ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීම බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ, “විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳ ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා. අපේ රටේ මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරත්, සංවිධානාත්මක අපරාධ කල්ලිත් දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය තැති ගැන්මට ලක් කරමින් සමාජය විශාල වශයෙන් විනාශයට පත් කරමින් තිබෙනවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මෙම විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය වීම ඒ මත පමණක් පදනම්ව සිදු වූ දෙයක් කියා. ඒ සඳහා ඉතා පැහැදිලි සබඳතා ජාලයන් තිබෙනවා. ඒ නිසා මේ විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬ පවත්වනවා නම් එම සමස්ත ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයෝ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබූ දූෂණය. ඒ වගේම රාජ්‍යය තුළට පැමිණ තිබූ අපරාධ රාජ්‍යයන්. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කළ සංවිධාන, ඒ වගේම දේශපාලන සබඳතා. මෙය අවසන් කළ හැකි වන්නේ මේ සියල්ල මැඬපැවැත්වීමෙන් පමණයි. ඒ නිසා අපි දැන් තීරණය කර තිබෙනවා මේ සියල්ල විනාශ කළ යුතු බවට. එහිදී මා දන්නවා විශාල ලෙස මෙම කාර්යභාරයට උරදෙන කණ්ඩායමක් සිටිනවා. අවාසනාවකට අද විපක්ෂයේ ප්‍රධාන චූදිතයන් බවට පත්ව තිබෙන්නේ එම කණ්ඩායමයි. දූෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වූ අපරාධ මේ සියල්ල මැඬපැවැත් විය යුතුයි. මේ සඳහා අද නීති සම්පාදනය වී තිබෙනවා. ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනවලට සෘජු නායකත්වය ලබා දී එය පරාජයට පත් කිරීමට සමත් වන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඊට උර දී සිටින කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් බවට පත්ව තිබෙන්නේ. මෙම ව්‍යායාමයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහත්මයා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යයේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානායක මහතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔහු අද විපක්ෂයේ සතුරෙක්. ඒ වගේම මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න මහත්මයා, ඒ වගේම අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයා, නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පිරිස් මහත්මයා විශාල දායකත්වයක් ලබා දෙනවා. අද ඔවුන් විපක්ෂයේ සතුරන් බවට පත් වී තිබෙනවා. ඒ වගේම මෙහිදී අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා, අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්. ඇයි ඒ? යුක්තිය, සාධාරණත්වය සහ ශිෂ්ට සම්පන්නභාවය ඇති කිරීම අද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔවුන්ට අද ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ඔරොත්තු දෙන්නේ නැහැ. රාජ්‍යය තුළ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් අපරාධ කර තිබෙනවා නම් ඒ අපරාධකරුවන් හෙළිදරව් කළ යුතු නැද්ද? එය රට පාවා දීමක්ද? දේශද්‍රෝහී වීමක්ද? නැහැ ශිෂ්ටසම්පන්න රටක් ගොඩනැගීමේ අභිප්‍රායයි. අපේ හමුදාවත්, අපේ බුද්ධි අංශයත් පිළිබඳ ගෞරවය, ඇගයීම හෘදයාංගමභාවය අප තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධි අංශ විසින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන ලද කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩාවට පත් වෙනවා නම්, අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත්, ජාත්‍යන්තරවත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවන් සහ බුද්ධි අංශ ක්‍රියාත්මක කර තිබෙනවා නම්, ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කිරීමටත්, ගෞරව කිරීමටත් බැඳී සිටිනවා. අපි ඒ කාර්යය ඉටු කරනවා. හැබැයි, ඒ හමුදාවේ, බුද්ධි අංශයේ ඉතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වුවමනාවකට යම් පවුලක බලය වෙනුවෙන්, යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා නම් ඒ සඳහාත් නිසි දඬුවම් ලබා දීමට අපේ ආණ්ඩුව පැකිළෙන්නේ නැති බව මම කියන්න කැමතියි. එය අපේ හමුදාව වෙනුවෙන් අපි කළ යුතුයි. ඒ වගේම ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? එය සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නොවෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. බුද්ධි අංශ උපයෝගි කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. එය සැගවිය යුතුද? කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දෙනවා. රදවාගෙන සිටින්නේ හමුදාවේ ආරක්ෂිත නිවසක කියා වාර්තා වෙනවා. උපාලි තෙන්නකොන්ට පහර දෙනවා. පෝද්දල ජයන්තට පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මේ සිවිල් ගැටුම් නොවෙයි. තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කරන ලද අපරාධ. තාජුඩීන්ගේ ඝාතනයත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරසට ගිනි තියනවා, ඉරුදින කාර්යාලයට ගිනි තියනවා. සියතට බෝම්බ ගහනවා. එවන් ඉතිහාසයක් තිබෙනවා. මේ සියල්ල පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් සිටියා. මෙය රටට හෙළිදරව් කිරීමට අවශ්‍ය නැද්ද? රටේ සුදු වෑන් බියක් තිබුණේ නැද්ද, අංක තහඩු නැති සුදු වෑන්වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට උද්ඝෝෂණය කළ අය පැහැරගෙන ගියේ නැද්ද? ඒවා සාමාන්‍ය සිවිල් ගැටුම් නොවෙයි. මේවා රාජ්‍යයේ ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු කණ්ඩායමේ ඉතා කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් යොදවා මේ මිලේච්ඡ ඝාතන සහ අපරාධ කර තිබෙනවා. අපි අනිවාර්යයෙන් ඒ මිලේච්ඡ ඝාතන සහ අපරාධවලට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බැඳී සිටින ආණ්ඩුවක්. කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මිනිසත්භාවය පිළිබඳ ගෞරවය තිබෙන කිසිදු පුරවැසියෙකුට මේ විමර්ශනවලට විරුද්ධ වෙන්න බැහැ. අද ශානි අබේසේකරට, රංග දිසානායකට, පොලිසියට, අධිකරණයට විශාල ලෙස ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. ඔවුන් මොකක්ද කළ අපරාධය. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ලද අපරාධයන් ජනතාව ඉදිරිපිට හෙළිදරව් කිරිම සහ විමර්ශනය කිරීම. ඊට ඔවුන් වැරදිකරුවන් නොවෙයි. ඒ නිසි කිසිවෙක් හෝ කල්පනා කරනවා නම් නිලධාරීන්ට තනි තනිව තර්ජනය කරමින්, බිය වද්දමින් මේ ව්‍යායාමය නතර කළ හැකියි කියා එයට අපි කිසිසේත්ම ඉඩ නොදෙන බව මම සහතික කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි අපරාධකරුවන් වෙනුවෙන් නොව පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒ සඳහා මම සියලුදෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීම වැළැක්වීම සඳහා මුදල් ලබා ගත්තා. කෙනෙක් අත්අඩංගුවට ගත් විට නිසි ක්‍රමවේදය වන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමයි. හැබැයි අධිකරණයට ඉදිරිපත් නොකාට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ භේද තිබ්බේ නැහැ. මේවා කාලයේ වැලිතලාවෙන් යට වෙයි කියලා කට්ටිය හිතුවා. කාලයේ වැලිතලාවෙන් මේවා යටවෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට පැමිණවීම තමයි අපේ රාජ්‍යයේ වගකීම. විමර්ශනය කර අත්ඩඅංගුවට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු ගොනුකර අධිකරණ පද්ධතිය හරහා දඩුවම් ලබා දෙනවා. හැබැයි අත්අඩංගුවට ගෙන ඝාතනය කළ ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරා ගැනීමට කප්පම්ගත් ඉතිහාසයක් තිබුණා. අද උදේ අත්අඩංගුවට ගත් කණ්ඩායමගේ රහස් මොනවද කියලා තව ටිකකින් හෙළිදරව් වෙයි. මම දන්නේ නැහැ ඔබේ පක්ෂවල එවන් පිරිස් තියාගෙන ඉඳී කියලා. ඒ වගේම බන්ධනාගාර ගතවී සිටින කුඩු ව්‍යාපාරිකයන් සමග 92 වතාවක් කතා කරපු දේශපාලන නායකයෙක් ඉන්නවා. ඉන් 54 වතාවක් ඔහු අරන් තිබෙනවා. ඉතිරි ටික එයාට අරන් තිබෙනවා. අඩුම තරමින් මේ පිළිබඳ පක්ෂ ඇතුලේ විනය පරීක්ෂණයක් කළාද කියා මම දන්නේ නැහැ. මේ දේශපාලන අධිකාරිය මේ මත්කුඩු, මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. දේශපාලන අධිකාරිය මේ සඳහා ලබාදෙන රැකවරණය අපි මුළුමනින්ම අවසන් කරනවා. මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ තුළ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ටසම්පන්න භාවයට පරිවර්තනය කිරීම. පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. ඇහුම්කන් දිය යුතුයි. කරුණු වාර්තා කළ යුතුයි. මේ සියවසේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි පාර්ලිමේන්තුවක්ද, ශිෂ්ට සම්පන්න භාවය වෙනුවෙන් සෘජු නායකත්වයක් අවශ්‍යයි. දූෂණය දීර්ඝකාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බදුන් වුණා. 2023 සිට මේ වන විට TT මගින් ගෙවීම් කර ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තිබෙනවා ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි භාණ්ඩ ඇවිල්ලා නැහැ. මේ මුදල් සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බැහැ. මෙහි කුඩු සල්ලි තිබෙනවා, දුෂණයෙන් උපයාගත් මුදල් තිබෙනවා, අපරාධවලින් උපයාගත් ධනය තිබෙනවා. අපි ඒ පිළිබඳ පරීක්ෂණ දියත් කර තිබෙනවා. වසර දෙකකට වැඩි කාලයක් මෙය සිදු වී තිබෙනවා. අපි දැන් එය වැළැක්වීම සදහා රෙගුලාසි පනවා තිබෙනවා. බැංකුවල සබඳතා තිබෙනවා. බැංකු ශාඛා කිහිපයක් අපි හදුනාගෙන තිබෙනවා. මේ දූෂණයෙන් උපයා ගන්නා ධනය තමයි ඩොලර් ලෙස එළියට ගිහින් තිබෙන්නේ. මේ රටේ ආර්ථිකයත්, සමාජ දේහයත් බිද වැට්ටීම සඳහා ඒ දුෂණය ඉවහල් වී තිබෙනවා. ඒවට එරෙහිව විමර්ශනය කළ යුතු නැද්ද, කිසිවෙකුගෙන් පෞද්ගලික පළි ගැනීමක්, පෞද්ගලික කෝන්තරයක් පිරිමහා ගැනීමේ වුවමනාවක් අපිට නැහැ. රජය බලයට පත්වී දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. පළිගන්නවා නම් පළිගැනීමේ සිදු වන්නේ බලය ලබාගත් මොහොතෙමයි. මෙය පළිගැනීමක් නොවෙයි. විධිමත් ලෙස පාර්ලිමේන්තුව මගින් දුෂණය, අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීති සම්පාදනය කර දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් බදවා ගත්තා. අධිකරණවලට නඩු කටයුතු ප්‍රමාද වී තිබුණා. ඒ නිසා වෙනම මහාධිකරණ අලුතින් හැදුවා. මේ ක්‍රියාවලිය කඩිනම් කර අධිකරණය මගින් දඩුවම් දීම තමයි අපේ අපේක්ෂාව. මහජනතාවගේ දේපොළ හොරකම් කරපු අයට දඩුවම් ලබා දීමට මේ රටේ ජනතාවට අපේක්ෂාවක් තිබුණා. ඒ සදහා පක්ෂ භේදයක් තිබුණේ නැහැ. එය පොදුජන අපේක්ෂාවක්. ඒ නිසා මේ රටේ පොදු ජනතාව තුළ දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබාදීම සඳහා තිබෙන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුව බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විෂ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීම් ශක්තිමත් කර තිබෙනවා. ගුවන් තොටුපොළේ, වරායෙන්, තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම හඳුනාගෙන තිබෙනවා. තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. කිසිදු බේදයකින් තොරව පාතාලයේ සිට ගෞරවයට පාත්‍රවන කෙනා දක්වා මේ සියලුදෙනා අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරයේ නිරත වී තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරවල සිට අපරාධ මෙහෙයවූ බව අපි දන්නවා. සිරකරුවන්ට ලබාදෙන හොඳම පහසුකම් සහිතව එහෙත් බාහිර පාර්ශ්ව වෙත ගනුදෙනු මුළුමනින්ම අඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කර තිබෙනවා. ප්‍රධාන අපරාධකරුවන් අපි වැලිසරට ගෙනියනවා. එහි සියලු සන්නිවේදන ජාලය අද බිද වැටී තිබෙනවා. ඒ නිසා සංවිධානාත්මක අපරාධ කල්ලි බන්ධනාගාර තුළ සිට එම කටයුතු මෙහෙයවීම අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ කර තිබෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු සන්නද්ධ අපරාධ කල්ලි මැඬපැවැත්වීම සදහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපේ ආණ්ඩුව අරගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්නද්ධ අපරාධ කල්ලි බිඳ වැට්ටීම මාස කිහිපයකින්, වසරකින් කළ හැකියි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. හබැයි මේ සඳහා අවශ්‍ය දිගුකාලීන, ස්ථිවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත්, ඒ හා බැඳුණු පාතාලයත්, ඒ හා බැඳුණු මත්ද්‍රව්‍ය ජාලයත් මුළු මනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මම සහතික වෙනවා. අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාද බිඳ වට්ටමින් සිදු කරන්නේ නැහැ. තම ක්ෂේත්‍රවල ගැටලු මතු වී තිබෙනවා නම් ආණ්ඩුවට එරෙහි විවේචන කිරීමේ අයිතියක් තිබෙනවා. පාලකයාට බියේ, යටත් වී ජීවත්වන සමාජයක් අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ පාලකයා නිරන්තරයෙන් ප්‍රශ්න කරන, පාලකයා නිරන්තරයෙන් ජනතාවට බැදීමක් තිබෙනවා කියා වගකීම් ඉටු කරන පාලනයක්. එය තමයි ශිෂ්ට සම්පන්න සමාජයක ජනතාව සහ රාජ්‍යය අතර සම්බන්ධතාවයේ ස්වභාවය වන්නේ. පාලකයාට බිය සමාජයක් ඉදිරියට යන්නේ නැහැ. නිදහස් මනසකින් යුතුව පාලකයා ප්‍රශ්න කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා අපි හැමවිටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවදාය සදහා තිබෙන සෑම අවස්ථාවක්ම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ අහෝසි කරන්න කියලා ජනතාව අරගල කළා. මේ වසරේ මේ ත්‍රස්තවාදී වැළක්වීමේ පනතක් අහෝසි වන බව කියන්න මම කැමතියි . ඒ පිළිබඳ අවසන් සාකච්ඡාවත් පැවැත්වුණා. ඒ අනුව ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා. වශ්‍ය වන ශක්තිමත් නීතියක් සම්පාදනය කරනවා. ත්‍රස්තවාදය විවිධාකාරයෙන් අර්ථකථනය කර අපට පීටීඒ යටතේ නඩු දාන්න පුළුවන්. අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වළක්වීමේ පනත යටතේ තිබෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධවලට අපි හැම වෙලාවේම හරියටම සංයුක්ත කර සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වන පරිදි අර්ථ නිරූපනය සකස් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේදී ඉතා පුළුල් පරාසයක් තිබෙනවා. තමන්ට දඩයම් කිරීමට අවශ්‍ය නම් තමන්ට එකඟ නොවෙනවා නම් දඩයම් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපාදනයක් පීටීඒ යටතේ හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථන පී.ටී.ඒ එක ඇතුලේ. ඊළඟට සංවිධානාත්මක අපරාධ පනත සංවිධානාත්මක අපරාධකරුවන් මැඬ පැවැත්වීම ඉලක්ක කර ගනිමින් ඒ සඳහා ඉතාමත් පැහැදිලි නිර්වචනයක් ඇති කරනවා. ඒ ගැන පාර්ලිමේන්තුවේ ඔබට කතා කළ හැකියි. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කර ගත් නිර්වචනයකට ඒ පනත ගේනවා. ඊළඟට මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් පැවැත් වුණා Online Safety Act එක සම්මත කරන වෙලාවේ දී. අපි විරුද්ධ වුණා ඒකට. ඒ වනවිට සංශෝධන ඇවිත් තිබුණා. පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙලා ඊළඟ සතියේ කැබිනට් එකට ඒකෙ සංශෝධන දානවා. මෙහෙමයි ඉතිහාසයේ තිබුණේ. Online Safety Bill එක අපි මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි අපි එය මුළුමනින්ම සංශෝධනය කරනවා. පනතක් ඉදිරිපත් කිරීමට ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මේවා තමයි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට තිබුණු පනත්. අපි ඒවා අහෝසි කරනවා. ඒ විතරක් නෙවෙයි උද්ඝෝෂණ රැසක් ඇති වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ එක වෝටර් කැනන් එකක් අපේ පාලන කාලය මේ ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. කඳුළු ගෑස් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. මිනිසුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. නිදහස තියෙනවා. අයිතිය දෙන්න ඕනෙ. රටක් ලෙස ඉදිරියට යාමට නම් මිනිස්සුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ලබාදෙන පාලනයක් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ගරු කරන රාජ්‍යයක්. ඉතිහාසයේ කොච්චර මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙනවාද? කොච්චර මාධ්‍ය ආයතනයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවාද? දැන් එහෙම නෑ. හැබැයි මේ සියල්ල අතරේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකම් ලබන පුරවැසියනුත් තමන්ගේ ශිෂ්ටත්වයට පැමිණිය යුතුව තිබෙනවා. අපේ සමහර දේශපාලන කඳවුරුවල ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස් ලෙස කටයුතු කරලා පුරුදු නැහැ. ඔවුන්ට පුරුද්ද තිබුණේ බිය වෙලා, යටත් වෙලා කටයුතු කරලා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයක තමන්ගේ මත ඉදිරිපත් කරන්නේ කොහොමද? අපි දන්නවා මේ සෙංකෝලය උස්සන්න වෙනදා විපක්ෂය පාර්ලිමේන්තුවට බැස්සොත් අනිත් පැත්තෙන් මොකක්ද වෙන්නෙ? ආණ්ඩුවත් බහිනවා. පෙරේදාද කොහෙද බැස්සා. හැබැයි ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයෙක් මේ බෙන්ච් එකෙන් පහළට ආවේ නැහැ. ඇයි? හැම වෙලාවෙම මේ රටේ තිබුණා සෙංකෝලය උස්සාගෙන යන එක විපක්ෂයේ වීර ක්‍රියාවක් බව. උස්සාගෙන යන්න නොදී ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක් කියන ඉතිහාසයක්. හැබැයි මේ සැරේ එහෙම වුණේ නැහැ. ජනතාව දකින්නේ සෙංකෝලය උස්සගෙන කරේ තියාගෙන යන එක වීර ක්‍රියාවක් නෙවෙයි අශිෂ්ට ක්‍රියාවක් ලෙසයි. ඒ වගේම මම දැක්කා මේ අධිකරණය පිළිබඳ විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. උපරිමාධිකරණවල විනිසුරුවන් පත් කර නොකිරීම පිළිබඳව මම අගවිනිසුරුතුමාගෙන් විමසීමක් කළා. එතුමා ඉතාම දීර්ඝ පැහැදිලි කිරීමක් එවා තිබෙනවා. මොකක්ද හේතුව? අපි බලන්නෙ එක අධිකරණයක එක්කෙනෙක් විශ්‍රාම යාම ගැන නෙවෙයි. මුළු අධිකරණ පද්ධතියේම පැවැත්ම පිළිබඳව අපි කල්පනා කරනවා. අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වැහිලා තිබෙනවා. නීතිපතිතුමා විසින්, ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තිබෙනවා. ඒත් ත්‍රිපූද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතුව ඉන්නවා. සමහර තැන්වල හදපු ත්‍රිපුද්ගල මහාධිකරණවල විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පහළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව පහළ බඳවා ගැනීම් සිදු කරමින් ඉදිරියට යන්න ඕන. දැනට අධිකරණ කොමිෂන් සභාව අවසර දුන්නා අලුතෙන් මහෙස්ත්‍රාත්වරුන් පනස් දෙනෙකු බඳවා ගැනීමට. මා දන්නා පරිදි දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඒකෙන් තිස් තුන්දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. ඔවුනුත් සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වූවාට පසු කී දෙනෙක් තෝරා ගනීදැයි මා දන්නේ නෑ. අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් අපට වසා දැමීමටත් සිදු වී තිබෙනවා. ඒ සියල්ල කළමනාකරණය කරමින් තමයි මේ කරන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමා ඒ පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් එවා තිබෙනවා. ඒ වගේම මේ පත්කිරීම් පිළිබඳ ඉලක්ක පිළිබඳ අදහසක් ලබා දී තිබෙනවා. එනිසා උපරිමාධිකරණවල ඇති වී තිබෙන පුරප්පාඩු ඉතා කෙටි කාලයක් තුළ අපිට පිරවිය හැකියි. මේවා තියාගෙන ඉන්නේ කැරට් අලයක් දීලා නඩු තීන්දු ගන්න කියලා මා දැක්කා කියා තිබෙනවා. ඒක තරම් විනිසුරුවරුන්ට කරන කිසිදු අපහාසයක් නැහැ. අපේ අධිකරණ පද්ධතියට ඒ වගේ අපහාස කරන්න එපා. නීතිය හොඳින් පසිඳලමින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අපි වෙහෙස වෙනවා. අධිකරණයක් පාලනය කිරීමේ අවශ්‍යතාවක් අපට කිසිසේත්ම නැහැ. ආණ්ඩුව වැරැද්දක් කරනවා නම් පෙන්වා දීමේ අයිතිය තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ශිෂ්ට සම්පන්න රාමුව කුමක්ද කියා ඔවුන් ඉගෙන ගනීවි කියා මා විශ්වාස කරනවා අපි උගන්නන්න යන්නේ නෑ. නමුත් ඔවුන් කොයි වෙලාවේ හරි ඉගෙන ගනීවි . මොකද ඔවුන් පොදු සමාජය සිටින තැන තේරුම් ගත යුතුයි. මාධ්‍ය පරණ කුණු ගොඩේම සිටිමින් සමාජය ඉස්සරහට ගියොත් මාධ්‍යවලට සමාජයේ තියෙන පැවැත්ම අහෝසි වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මත්ද්‍රව්‍ය සහ අනෙකුත් අපරාධ මැඬපවත්වමින් මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක්, ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනාගේ සහාය ලැබේවි කියා අපේක්ෂා කරමින් මම නතර වෙනවා. රනිල් ධර්මසේන