තරගාවලියේ ජය ඉන්දියාවට තරගාවලියේ වීරයා දේව්දත් පඩික්කාල් අලුත් වීරයා සොනාල් දිනූෂ වාර්තා අතරට දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සොනාල් දිනූෂ ලකුණු 133 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඊයේ එස්.එස්.සී. පිටියේ දී සමත් විය.…

තරගාවලියේ ජය ඉන්දියාවට

තරගාවලියේ වීරයා දේව්දත් පඩික්කාල්

අලුත් වීරයා සොනාල් දිනූෂ වාර්තා අතරට

දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සොනාල් දිනූෂ ලකුණු 133 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඊයේ එස්.එස්.සී. පිටියේ දී සමත් විය.

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී සොනාල් ඉතා විශිෂ්ට පිතිහරඹයක නිතර වූයේ පසු පෙළ පිතිකරුවන් සංයමයෙන් යුතුව කඩුල්ලේ තබා ගනිමිනි. තවද සොනාල් ඊයේ ලබාගත් තුන්වැනි ටෙස්ට් ශතකය ද පිට පිට ලබා ගත් දෙවැනි ශතකය ද වන අතර මීට පෙර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක දී පිට පිට ඉනිම් දෙකේදීම ශතක වාර්තා කර තිබුණේ කෙදෙව් හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා විසිනි. එය 2001 වසරේදී සිව්වැනි දිනයේ තරගය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අහිමි කරගෙන ලබා සිටියේ ලකුණු 226 ක් පමණි. ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 16 ක් ඉදිරියෙන් සිටිමින් අවසන් දිනය ඊයේ ඇරඹූ අතර සොනාල් දිනූෂ ලකුණු 23 ක් ද කේශර නුවන්ත ලකුණු 06 ක් ද ලබාගෙන සිටියහ.

තීරණාත්මක ඉන්දීය කණ්ඩායමට වාසිදායකව තිබූ තරගය දිවා ආහාරය තෙක් හොඳින් පන්දුවට පහර දුන් කේශර නුවන්ත සහ සොනාල් දිනූෂ පීඩනය ඉන්දියාව දෙසට තල්ලු කළේ ඉතා ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමිනි. ඒ අනුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් සහ කේශර පන්දු 246 කදී ලකුණු 112 ක සුපිරි සබඳතාවක් ගොඩනැඟූහ.

අර්ධ ශතකය පෙනි පෙනී කේශර නුවන්ත දැවී ගියත් නවකයකු ලෙස ශ්‍රී ලංකා ඉනිමට කළ සේවය ඉතා ගෞරවාන්විතය. 9 වැනි කඩුල්ල වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ ලකුණු 47 ක සබඳතාවක් පැවැත්වූ අතර ළහිරු කුමාර පන්දු 90 කට මුහුණ දී ලකුණු 12 ක් ලබා ගනිමින් ටෙස්ට් තරගයක දී ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කියා දෙමිනි.

සොනාල් දිනූෂ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරා ගැනීමට පන්දු 264 කට මුහුණ දෙමින් විනාඩි 420 ක් කඩුල්ලේ රැඳී සිටිමින් ඉතා සංයමයෙන් යුතුව හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමග ලකුණු 133 ක් ලබාගත්හ. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 429 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිට වූ අතර ඉන්දීය නායක සිය දෙවැනි ඉනිම ක්‍රීඩා නොකර ජය පරාජයෙන් තොරව තරගය අවසන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.ස.ී පිටියේ දී ආරම්භ වූයේ පළමුව ඉන්දියාව පන්දුවට පහර දෙමින්ය. පළමු ඉනිමට ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාට පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඉන්දියාව වෙනුවෙන් දෙව්දත් පඩික්කාල් ලකුණු 117 ක් ලබා ගත් අතර ධෲව් ජුරෙල් ලකුණු 115 ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 290 කට දැවී ගිය අතර සොනාල් දිනූෂ ලකුණු 103 ක් ලබා ගත්හ.

ඉන්දියාවේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළ අතර ජය පරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 429 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේ ද සොනාල් දිනූෂ ශතකයක් ලබා ගත් අතර පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92 ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 55 ක් ද ලබා ගත්හ.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව තරගාවලිය ජය ගත්හ.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 138 කදී කඩුලු 9 ට ඉනිම අත්හිටුවන විට ලකුණ 503 යි –

(දේව්දත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, රවීන්ද්‍ර ජඩේජා 43, යශස්වි ජයිස්වාල් 45, කේ.එල්. රාහුල් 18, රිෂාබ් පාන්ට් 63, රවීන්ද්‍ර ජඩේජා 43, ධෲව් ජුරෙල් 115), සාරාන්ෂ් ජේන් 06,මානව් සුතර් 18, මොහොමඩ් සිරාජ් 03, ප්‍රසිද් ක්‍රිෂ්ණා 04), අසිත ප්‍රනාන්දු 106/4, ප්‍රභාත් ජයසූිය 132/2, කේෂර නුවන්ත 154/2, ළහිරු කුමාර 68/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 89.4 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි –

(ළහිරු උදාර 01, කමිල් මිශාර 19, ප්‍රභාත් ජයසූරිය 02, පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 08, සොනාල් දිනූෂ 103, නිරෝෂන් දික්වැල්ල 00, කේෂර නුවන්ත 18, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 01), ප්‍රසිද් ක්‍රිෂ්ණා 52/3, මානව් සුතාර් 85/3, රවීන්ද්‍ර ජඩේජා 45/1, මොහොමඩ් සිරාජ් 33/1, සරන්ස් ජේන් 69/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 154 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 429 යි –

(පසිඳු සූරියබණ්ඩාර 92, කමිල් මිශාර 32, ළහිරු උදාර 03, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ද සිල්වා 23, සොනාල් දිනූෂ 133), නිරෝෂන් දික්වැල්ල 06, කේෂර නුවන්ත 46, මානව් සුතර් 121/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 57/1, මොහොමඩ් සිරාජ් 26/1, සර්න්ෂ් ජේන් 98/1, රවීන්ද්‍ර ජඩේජා 94/3)

සුසිල් ජයකොඩිඑස්.එස්.සී. පිටියේ සිට