සියම් උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරට පෙරමුණ ගත් ඌවේ විශිෂ්ටයා මූලාශ්‍ර (References) මහනුවර රාජධානිය හා සියම් රාජධානිය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික හා ආගමික සබඳතා පිළිබඳ අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් සියම් රාජධානිය වෙත පිටත්ව ගිය රාජ්‍යතාන්ත්…

සියම් උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරට පෙරමුණ ගත් ඌවේ විශිෂ්ටයා

මූලාශ්‍ර (References)

මහනුවර රාජධානිය හා සියම් රාජධානිය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික හා ආගමික සබඳතා පිළිබඳ අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් සියම් රාජධානිය වෙත පිටත්ව ගිය රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර තුනක් සහ සියම් රාජධානියෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණි දූත කණ්ඩායම් තුනක් පිළිබඳව සිංහල, ඉංග්‍රීසි සහ තායි භාෂාවලින් රචිත වාර්තා හා ග්‍රන්ථ රැසක් අද දක්වා පවතී. මෙම මූලාශ්‍ර, අටළොස්වන සියවසේ ශ්‍රී ලංකාව හා සියම් රාජධානිය අතර ගොඩනැගුණු රාජ්‍යතාන්ත්‍රික සබඳතා, බෞද්ධ සංස්කෘතික හුවමාරුව සහ උපසම්පදා පුනර්ජීවනය පිළිබඳ අධ්‍යයනය සඳහා අතිශය වැදගත් සාක්ෂි සපයයි.

සිංහල භාෂාවෙන් රචිත එම මූලාශ්‍ර අතරින් වඩාත් වැදගත් හා විශ්වාසදායක කෘතිය ලෙස සැලකෙන්නේ “විල්බාගෙදර මොහොට්ටාලගේ ශ්‍යාම දූත වර්ණනාව හා ශ්‍යාම වර්ණනාව” (ක්‍රි.ව. 1752-1753) ය. සියම් දූත මෙහෙවරට සෘජුවම සහභාගි වූ රාජ්‍ය නිලධාරියෙකු විසින් රචිත මෙම වාර්තාව, එම දූත මෙහෙවර පිළිබඳ ලැබෙන ප්‍රාථමික මූලාශ්‍ර අතරින් අතිශය වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකේ. පසුව මෙම කෘතිය ඉංග්‍රීසි සහ තායි භාෂාවලට පරිවර්තනය වීමත් සමඟ, ශ්‍රී ලංකා හා තායිලන්ත ඉතිහාසය, බෞද්ධ සබඳතා සහ අටළොස්වන සියවසේ අන්තර් රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ පර්යේෂණ කරන ජාත්‍යන්තර විද්වතුන්ගේ මූලික අත්පොතක් බවට එය පත්විය.

ලංකා සිවිල් සේවයේ ප්‍රකට විද්වත් නිලධාරියෙකු වූ පෝල් ඊ. පීරිස් (Paul E. Pieris) විසින් මෙම සිංහල වාර්තාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර .”An Account of King Kirti Sri’s Embassy to Siam in Saka 1672 (1750 A.D.) යන නාමයෙන් Journal of the Ceylon Branch of the Royal Asiatic Society සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. එම පරිවර්තනය නිසා මෙම ඓතිහාසික වාර්තාව ජාත්‍යන්තර ශාස්ත්‍රීය ප්‍රජාව අතර ප්‍රචලිත වූ අතර, මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සඳහා මූලික මූලාශ්‍රයක් බවට පත්විය.

මෙම ක්ෂේත්‍රයේ තවත් අතිශය වැදගත් කෘතියක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1773 දී තිබ්බොටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් විසින් රචිත “ශ්‍යාමෝපසම්පදාවත” ග්‍රන්ථයයි. ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ ඉතිහාසය ආගමික හා ශාසනික දෘෂ්ටිකෝණයෙන් විස්තර කරන මෙම කෘතිය, සියම් දූත මෙහෙවරේ ප්‍රතිඵල සහ එහි දීර්ඝකාලීන බලපෑම් අවබෝධ කර ගැනීම සඳහා අතිශය වැදගත් මූලාශ්‍රයකි.

එමෙන්ම, සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ උපාලි මහතෙරුන් වහන්සේ තිස්සමහාරාම චෛත්‍යය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ රචනා වූ “උපාලි සන්දේශය” නමැති ලේඛනය ද එවක ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයේ තත්ත්වය, ආගමික පරිසරය සහ සියම් භික්ෂූන් වහන්සේලාගේ නිරීක්ෂණ පිළිබඳ වටිනා තොරතුරු රැසක් අනාවරණය කරන මූලාශ්‍රයකි.

මෙම ලිපිය සම්පාදනය කිරීමේදී මාගේ ප්‍රධාන පර්යේෂණ පදනම වූයේ ක්‍රිස්තු වර්ෂ 1908 දී බැංකොක් නුවර Siam Observer Office ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ Religious intercourse between Ceylon and Siam in the Eighteenth Century නම් වූ ග්‍රන්ථයයි. මෙම කෘතිය සම්පාදනය කිරීමේදී, මහනුවර රාජධානියේ නිලධාරීන් විසින් සිංහල භාෂාවෙන් රචිත මුල් වාර්තාව, පෝල් ඊ. පීරිස්ගේ ඉංග්‍රීසි පරිවර්තනය සහ තායි ජාතික පුස්තකාලයේ සුරක්ෂිතව පැවති තායි මූලාශ්‍ර සංසන්දනාත්මකව භාවිත කර ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, වජිරඥාන ජාතික පුස්තකාලයේ (Vajiranana National Library) විද්වත් කමිටුවක් විසින් මෙම සංස්කරණය සකස් කිරීමේදී, මුල් සිංහල අත්පිටපත්වල දක්නට ලැබුණු ඇතැම් වචන, ස්ථාන නාම සහ සිද්ධි පිළිබඳ ඇති වූ දෝෂ, තායි රාජකීය ලේඛන සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර සමඟ සසඳා නිවැරදි කර ඇති බවයි. එබැවින් 1908 සංස්කරණය, මෙම දූත මෙහෙවර පිළිබඳ වඩාත් විචාරාත්මක හා සංස්කරණය කරන ලද විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකිය.

තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවක මෙම දුර්ලභ ග්‍රන්ථයේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට මට හැකි විය. එය ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකාව සහ සියම් රාජධානිය යන දෙරටම මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ කැපවීම, සංවිධාන හැකියාව සහ රාජ්‍යතාන්ත්‍රික පරිණතභාවය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

මහනුවර රාජධානියේ අමාත්‍ය මට්ටමේ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකුගේ නායකත්වයෙන්, සෙසු නිලධාරීන් සහ සේවකයන් හැටතුන් දෙනෙකු සමඟ සමන්විත වූ හැටඅට (68) දෙනෙකුගෙන් යුත් මෙම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය ක්‍රිස්තු වර්ෂ 1750 අගෝස්තු මස 27 වැනි බ්‍රහස්පතින්දා සෙංකඩගල රාජධානියෙන් පිටත්විය. එහි ජ්‍යෙෂ්ඨතම තානාපතිවරයා වූයේ පට්ටිපොළ මුහන්දිරම්ය.

මෙම දූත මෙහෙවරේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස, තායි මහා සංඝයා වහන්සේලාගේ කණ්ඩායමක් සමඟ මහනුවර රාජධානියේ තානාපති මණ්ඩලය ශක වර්ෂ 1675 වෙසක් පුර පසළොස්වකට ආසන්න කාලයේ, ක්‍රිස්තු වර්ෂ 1751 මැයි මස 17 වැනි සඳුදා ත්‍රිකුණාමල වරායට නැවත පැමිණියේය. සම්පූර්ණ දූත මෙහෙවර සඳහා මාස අටකුත් දින විස්සක පමණ කාලයක් ගත වී තිබිණි.

මෙම කාලය තුළ දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වූ පට්ටිපොළ මුහන්දිරම් තම රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙය සාර්ථකව අවසන් කොට නැවත ලංකාව බලා පැමිණෙමින් සිටිය දී සියම් දේශයේදී අභාවප්‍රාප්ත විය. මුහුදු ගමනේදී මුහුණ දුන් අනතුරු සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද, විල්බාගෙදර මුහන්දිරම් ඇතුළු සෙසු දූත මණ්ඩලය සිය කාර්යය අත්නොහැර, ශ්‍රී ලංකාවට උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමේ ඓතිහාසික මෙහෙවර සාර්ථකව නිම කළහ. සියම් සහ ශ්‍රී ලංකාවේ මූලාශ්‍ර සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමේදී, මෙම දූත මණ්ඩලයේ කැපවීම හා ධෛර්යය ඉතා උසස් ලෙස ඇගයීමට ලක් කර ඇති බව පැහැදිලි වේ.

අද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන ථෙරවාදී බෞද්ධ රාජ්‍යයක් ලෙස ගෞරවයට පාත්‍ර වී සිටීමේ පසුබිම තුළ, මෙම දූත මෙහෙවරවල නිරත වූ පට්ටිපොළ මුහන්දිරම්, විල්බාගෙදර මුහන්දිරම් සහ ඔවුන්ගේ සගයන් දැක්වූ කැපවීම ඉතිහාසයේ අමරණීය ස්ථානයක් හිමි කර ගනී. ඔවුන්ගේ මෙම මෙහෙවර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයේ පමණක් නොව, මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේද ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයන්ගෙන් එකක් ලෙස සැලකිය යුතුය.

මහනුවර රාජධානියේ විදේශ සබඳතා, රාජ්‍ය පරිපාලනය සහ ආගමික ප්‍රතිපත්තිය පිළිබඳව විමර්ශනය කිරීමේදී කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ කැපී පෙනෙන රාජ්‍ය නිලධාරීන් අතර පට්ටිපොළ මුහන්දිරම් හෙවත් පට්ටිපොළ රටේ රාළ විශේෂ ස්ථානයක් හිමිකර ගනී. ඔහු පිළිබඳව සෘජු මූලාශ්‍ර සීමිත වුවද, 1750 සියම් රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර සම්බන්ධ සිංහල, ඉංග්‍රීසි හා තායි මූලාශ්‍ර සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙන් ඔහු මහනුවර රාජධානියේ ඉහළම විශ්වාසයට පාත්‍ර වූ රාජ්‍ය නිලධාරියෙකු බව පැහැදිලි වේ

සියම් රජු වෙත යවන ලද රාජකීය සංදේශය

සියම් රාජධානියේ බොරොම්මකොට් මහ රජු වෙත යැවීම සඳහා පාලි භාෂාවෙන් රචනා කරන ලද රාජකීය සංදේශය සම්පාදනය කළේ මල්වතු මහා විහාරයේ වැඩ විසූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් විසිනි. මෙම සංදේශයෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පිරිහී ගොස් තිබූ උපසම්පදා පරම්පරාව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සියම් රාජධානියේ රාජකීය අනුග්‍රහය සහ සහාය ඉල්ලා සිටීමයි.

මෙයට අමතරව, සියම් රාජධානියේ මහා සංඝරාජ හිමියන් අමතා තවත් පාලි භාෂා සංදේශයක් ද සකස් කර දූත මණ්ඩලය වෙත භාර දෙන ලදී. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ සංඝ සංස්ථාව මුහුණ දී සිටි අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කරමින්, උපසම්පදා භික්ෂූන් වහන්සේලා සහ විනය සම්ප්‍රදාය නැවත ශ්‍රී ලංකාවට ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මහා සංඝයාගේ අනුග්‍රහය ඉල්ලා සිටියේය.

ත්‍රිකුණාමලයේදී දූත මණ්ඩලයට ලබාදුන් රාජ්‍යතාන්ත්‍රික පහසුකම්

සියම් රාජධානිය බලා පිටත්ව යන ගමනේදී, මහනුවර රාජධානියේ තානාපති දූත මණ්ඩලය ත්‍රිකුණාමලයට ළඟා වූ අවස්ථාවේ, එහි ලන්දේසි බලකොටුව භාරව සිටි අණදෙන නිලධාරියා (Commander) විසින් ඔවුන් සඳහා විශේෂ නවාතැන් පහසුකම් සලසා දෙන ලදී. දූත මණ්ඩලය නවාතැන් ගනු ලැබුවේ එම අණදෙන නිලධාරියාගේ මල්වත්තට අයත් නිල නිවසක වන අතර, එය මහනුවර රාජධානියේ තානාපතිවරුන් වෙත ලන්දේසි පාලනාධිකාරිය දැක්වූ රාජ්‍යතාන්ත්‍රික ගෞරවයේ ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය.

‘යෙල් ට්‍රකේ’ නෞකාවෙන් සියම් බලා පිටත්වීම

ත්‍රිකුණාමලයෙන් අනතුරුව දූත මණ්ඩලය මලක්කා හරහා සියම් රාජධානිය වෙත ප්‍රවාහනය කරනු ලැබුවේ ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමට (VOC) අයත් ‘යෙල් ට්‍රකේ‘(Yel Trek) නමැති නෞකාව මගිනි. මෙම නෞකාව පිළිබඳ සඳහන් කිරීම දූත මෙහෙවරේ මුල් වාර්තාවල මෙන්ම පසුව සම්පාදනය කරන ලද ඉංග්‍රීසි හා තායි පරිවර්තනවලද දක්නට ලැබෙන අතර, මහනුවර රාජධානිය සහ ලන්දේසි පාලනාධිකාරිය අතර පැවති ප්‍රායෝගික සහයෝගීතාව පිළිබඳ වැදගත් සාක්ෂියක් ලෙස එය සැලකිය හැකිය.

මලක්කාවේදී රාජකීය සංදේශය ආරක්ෂා කිරීම

දූත මණ්ඩලය මලක්කා නගරයට ළඟා වූ පසු, මහනුවර රජු විසින් සියම් රජු වෙත යැවූ රාජකීය සංදේශය ඉතා ආරක්ෂිත ලෙස ගබඩා කරන ලදී. ඒ සඳහා මලක්කාවේ සේවය කළ ඕලන්ද පිස්කල්වරයාගේ (Fiscal) නිවසට අනුබද්ධ වූ දෙමහල් ගොඩනැගිල්ලක් තෝරාගෙන තිබූ අතර, එම සංදේශය සියම් රාජධානිය වෙත රැගෙන යන තෙක් විශේෂ ආරක්ෂාව යටතේ එහි තැන්පත් කර තිබුණි. මෙම සිදුවීම රාජකීය ලිපි හුවමාරුව සම්බන්ධයෙන් ලන්දේසි පාලනාධිකාරිය අනුගමනය කළ විධිමත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.

සියම් රාජධානියට පැමිණීම පිළිබඳ දැනුම්දීම

ශ්‍රී ලංකාවේ තානාපති දූත මණ්ඩලය සියම් රාජධානියේ වරායට ළඟා වූ වහාම, පඩිකාර මුහන්දිරම් වසමේ කන්නදෙණියේ ආරච්චි සහ කපිතාන්වරයා දූත මණ්ඩලයේ පැමිණීම පිළිබඳව අයුත්තයා අගනුවරේ රාජකීය බලධාරීන් වෙත දැනුම් දීම සඳහා පිටත් කර යවන ලදී. ඔවුන්ගේ මෙම පූර්ව දැනුම්දීමෙන් අනතුරුව, රාජකීය අනුමැතිය සහ පිළිගැනීමේ කටයුතු සම්පූර්ණ වන තෙක් දූත මණ්ඩලය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිටි අතර, දින විසිහතරකට පසු පමණක් දූත පිරිසට නිල වශයෙන් ගොඩබැසීමට සහ අභ්‍යන්තරයට ගමන් කිරීමට අවසර හිමි විය.

මෙම විස්තරවලින් පැහැදිලි වන්නේ, 1750 සියම් දූත මෙහෙවර හුදෙක් මුහුදු ගමනක් නොව, VOC පාලනාධිකාරිය, මලක්කා පරිපාලනය සහ අයුත්තයා රාජමාළිගාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල සමඟ සම්බන්ධ වූ ඉතා විධිමත් අන්තර් රාජ්‍ය දූත මෙහෙවරක් වූ බවයි. රාජකීය සංදේශ ආරක්ෂා කිරීම, වරායට පැමිණීමෙන් පසු අගනුවරට පූර්ව දැනුම්දීම, රාජකීය අවසර ලැබෙන තෙක් ගොඩබැසීම ප්‍රමාද කිරීම සහ නිල පිළිගැනීම සඳහා වූ ක්‍රියාපටිපාටිය, අටළොස්වන සියවසේ අග්නිදිග ආසියාවේ රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන්හි විධිමත් ස්වභාවය මනාව නිරූපණය කරයි.

මහනුවර රාජධානියේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේදී, එහි විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂක සැලසුම් සහ ප්‍රාදේශීය පරිපාලනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට දායක වූ ප්‍රදේශ අතරින් පට්ටිපොළ විශේෂ ස්ථානයක් ගනී. එසේම මධ්‍ය කඳුකර කලාපයට ඇතුල්වන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් හෙවත් කඩවතක් පිහිටා තිබුණේ පට්ටිපොළ හරහාය. වර්තමානයේ මෙම ප්‍රදේශය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය සහ මධ්‍යම කඳුකරයේ ස්වභාවික සුන්දරත්වය නිසා ප්‍රකටව ඇතත්, එහි ඓතිහාසික වැදගත්කම ඊට වඩා බොහෝ ගැඹුරුය. මහනුවර යුගයේදී මෙම ප්‍රදේශය ඌව දිසාවේ (ඌව උඩුකිඳ) ආරක්ෂාව, රාජ්‍ය පරිපාලනය, දේශසීමා නිරීක්ෂණය සහ රාජකීය සේවය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ අතර, එම පරිපාලන ව්‍යුහයෙන් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියෙකු වූයේ පට්ටිපොළ මුහන්දිරම් හෙවත් පට්ටිපොළ රටේ රාළ ය.

විල්බාගෙදර මුහන්දිරම් විසින් සිය තුන්වන සියම් දූත මෙහෙවර පිළිබඳව රචනා කරන ලද වාර්තාවේ, මහනුවර රාජධානියෙන් එම දූත මෙහෙවර සඳහා සහභාගි වූ සාමාජිකයන් හැටහය (66) දෙනෙකු පිළිබඳව විස්තර ඇතුළත් කර ඇත. එහෙත්, එම වාර්තාව මුල් සිංහල අත්පිටපත්, පෝල් ඊ. පීරිස්ගේ ඉංග්‍රීසි පරිවර්තනය සහ තායි ජාතික පුස්තකාලය විසින් 1908 දී සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ සංස්කරණය සමඟ සසඳා බැලීමේදී, මෙම දූත මෙහෙවරට සහභාගි වූ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව හැටඅට (68) ක් වූ බව පැහැදිලි වේ.

1750 සියම් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයේ සංවිධාන ව්‍යුහය

සියම් රාජධානිය වෙත යවන ලද මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය ඉතා සංවිධානාත්මක ආකාරයෙන් සකස් කර තිබූ බව මුල් ලේඛනවලින් පැහැදිලි වේ. එහි ප්‍රධාන තානාපතිවරුන් පස්දෙනාට අනුයුක්ත කර තිබූ නිලධාරීන්, සේවකයන් සහ අනෙකුත් සාමාජිකයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

මීට අමතරව, දූත මණ්ඩලයේ ගමන් චාරිත්‍ර හා රාජකීය උත්සව විධිවිධාන සඳහා අනුයුක්ත කර තිබූ වාද්‍ය කණ්ඩායම පහත පරිදි විය.

නළා වාදකයන් තිදෙනෙක් (3)තඹරුවේ වාදකයන් තිදෙනෙක් (3)හේවිසි වාදකයන් පස්දෙනෙක් (5)හොරණෑ වාදකයන් දෙදෙනෙක් (2)

මෙම වාද්‍ය කණ්ඩායමේ මුළු සාමාජික සංඛ්‍යාව දහතුන් (13) කි.

ඒ අනුව, ප්‍රධාන තානාපතිවරුන්, ඔවුන්ට අනුයුක්ත නිලධාරීන් සහ සේවකයන්, මෙන්ම රාජකීය වාද්‍ය කණ්ඩායම ඇතුළුව, 1750 වර්ෂයේ සියම් රාජධානිය වෙත පිටත්ව ගිය මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව හැටඅට (68) ක් වූ බව තහවුරු වේ.

මෙම දූත මණ්ඩලය පිළිබඳ වාර්තාවන් අනුව, සියම් රාජධානිය වෙත පිටත් වූ මහනුවර රාජධානියේ ප්‍රධාන තානාපතිවරුන් පස්දෙනා අතර ජ්‍යෙෂ්ඨතම තානාපතිවරයා වූයේ ඌව දිසාව නියෝජනය කළ පට්ටිපොළ මොහොට්ටාල (පට්ටිපොළ මුහන්දිරම් හෙවත් පට්ටිපොළ රටේ රාළ) ය. ඔහුගේ උසස් නිල තත්ත්වය හා රාජකීය ජ්‍යෙෂ්ඨත්වය පිළිබිඹු කරමින්, ලේකම්වරයෙකු, ආරච්චිවරු තිදෙනෙකු, හේවායන් නවදෙනෙකු සහ පෞද්ගලික උපස්ථායකයන් පස්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් දහනවදෙනෙකුගෙන් යුත් නිල කණ්ඩායමක් ඔහු වෙත අනුයුක්ත කර තිබූ අතර, එහි සේවකයන් පමණක් දහඅට දෙනෙකු සිටියහ. මෙම සංවිධානය අනෙකුත් තානාපතිවරුන්ට හිමි වූ නිල කණ්ඩායම්වලට වඩා විශාල වූ අතර, දූත මෙහෙවරේ ප්‍රධාන නායකයා ලෙස ඔහුට හිමිව තිබූ විශේෂ තත්ත්වය මනාව ප්‍රදර්ශනය කරයි.

කෙසේ වෙතත්, මෙම ඓතිහාසික දූත මෙහෙවර අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ පට්ටිපොළ මුහන්දිරම් සියම් දේශයේදී හදිසියේ අභාවප්‍රාප්ත වීමයි. ඔහුගේ දේහය එරටදීම ආදාහනය කරන ලද අතර, ඒ සමඟ දූත මණ්ඩලයේ නායකත්වයේ වෙනසක් සිදු විය.

එහෙත්, මෙම දූත මෙහෙවරේ අවසාන සාර්ථකත්වය විල්බාගෙදර මුහන්දිරම්ගේ නායකත්වයෙන් සම්පූර්ණ වූ බව පිළිගන්නා අතරම, එහි මුල් සැලසුම්කරණය, රාජකීය නියෝජනය සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය දැරුවේ පට්ටිපොළ මුහන්දිරම් බව අමතක නොකළ යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයේ පුනර්ජීවනය සහ මහනුවර රාජධානියේ විදේශ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය ඇගයීමේදී, පට්ටිපොළ මුහන්දිරම් සහ විල්බාගෙදර මුහන්දිරම් යන දෙදෙනාගේම දායකත්වය ඔවුන්ගේ සත්‍ය ඓතිහාසික භූමිකාවන්ට අනුරූපව සාධාරණ ලෙස ඇගයීමට ලක් කළ යුතුය. පට්ටිපොළ මුහන්දිරම්, දූත මෙහෙවරේ ජ්‍යෙෂ්ඨ නායකයා සහ ආරම්භක ප්‍රධානියා ලෙස, ශ්‍රී ලංකාවේ ආගමික රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ ජාතික වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයකි.

පට්ටිපොළ මුහන්දිරම් හෙවත් පට්ටිපොළ රටේ රාළ ඌව දිසාවේ උපායමාර්ගික වැදගත්කම

මහනුවර රාජධානියේ භූගෝලීය ආරක්ෂක සැලැස්ම තුළ ඌව දිසාවට සුවිශේෂී ස්ථානයක් හිමිවිය. නැගෙනහිර හා ගිනිකොන දිග දෙසින් පැමිණිය හැකි ඕනෑම විදේශීය හමුදා බලවේගයක් හෝ පහතරට යටත්විජිත බලවතුන්ගේ ප්‍රහාරයක් පළමුව මුහුණ දීමට සිදු වූයේ මෙම ප්‍රදේශයයි. එබැවින් ඌව දිසාවේ රාජකීය නිලධාරීන් සාමාන්‍ය බදු එකතුකරන්නන් නොව, රාජ්‍යයේ දේශසීමා ආරක්ෂකයන්, බුද්ධි තොරතුරු සපයන්නන් සහ යුද සූදානම සංවිධානය කළ ප්‍රධානීන් ලෙසද කටයුතු කළහ.

පට්ටිපොළ පිහිටි ප්‍රදේශය බදුල්ල, බින්තැන්න, වැල්ලවාය, හපුතලේ සහ සබරගමුව සම්බන්ධ කරන කඳුකර මාර්ගවල මධ්‍යස්ථානයක් වූ බැවින්, එය රාජ්‍යයේ සන්නිවේදන හා ආරක්ෂක ජාලයේ අත්‍යවශ්‍ය කොටසක් විය.

රාජ්‍ය පරිපාලනය හා “රටේ රාළ” තනතුර

මහනුවර රාජධානියේ පරිපාලන ව්‍යුහය ඉතා සංකීර්ණ සහ පියවරගත වූ එකකි. රජු යටතේ අධිකාරම්වරු, දිසාවේවරු, රටේ මහත්වරු, කෝරාලේ, මොහොට්ටාලවරු, මුහන්දිරම්වරු සහ ගම් මට්ටමේ විදානවරු දක්වා විහිදුණු පරිපාලන පද්ධතියක් පැවතිණි.

රටේ රාළ යනු ප්‍රදේශයක සිවිල් පරිපාලනය, ආදායම් එකතු කිරීම, නඩු විභාග, හමුදා සේවා සංවිධානය සහ රාජකීය නියෝග ක්‍රියාත්මක කිරීම භාරව සිටි ප්‍රභූ නිලධාරියෙකි. එබැවින් පට්ටිපොළ රටේ රාළ ලෙස හැඳින්වූ පට්ටිපොළ මුහන්දිරම් සාමාන්‍ය ප්‍රාදේශීය නිලධාරියෙකු නොව, රාජ්‍යයේ ඉහළම විශ්වාසය දිනාගත් ප්‍රභූ නිලධාරියෙකු වූ බව නිගමනය කළ හැකිය.

පට්ටිපොළ ප්‍රදේශයෙන් බිහි වූ රාජ්‍යතාන්ත්‍රික නායකයා

මහනුවර රාජධානියේ විදේශ සබඳතා, රාජ්‍ය පරිපාලනය සහ ආගමික ප්‍රතිපත්තිය පිළිබඳව විමර්ශනය කිරීමේදී කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ කැපී පෙනෙන රාජ්‍ය නිලධාරීන් අතර පට්ටිපොළ මුහන්දිරම් හෙවත් පට්ටිපොළ රටේ රාළ විශේෂ ස්ථානයක් හිමිකර ගනී. ඔහු පිළිබඳව සෘජු මූලාශ්‍ර සීමිත වුවද, 1750 සියම් රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර සම්බන්ධ සිංහල, ඉංග්‍රීසි හා තායි මූලාශ්‍ර සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙන් ඔහු මහනුවර රාජධානියේ ඉහළම විශ්වාසයට පාත්‍ර වූ රාජ්‍ය නිලධාරියෙකු බව පැහැදිලි වේ. ඔහු දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස පළමු ස්ථානයේ සඳහන් වන අතර, එය ඔහුගේ නිල අනුපිළිවෙළ සහ රාජකීය විශ්වාසය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.

ඉතිහාස මූලාශ්‍රවල ඔහුගේ නාමය විවිධ ආකාරයෙන් සටහන් වී ඇත. සමහර සිංහල ලේඛනවල “පට්ටිපොළ මොහොට්ටාල” ලෙසද, තවත් මූලාශ්‍රවල “පට්ටිපොළ මුහන්දිරම්” ලෙසද, ජනප්‍රවාදයේ “පට්ටිපොළ රටේ රාළ” ලෙසද හඳුන්වා ඇත. මෙය එකම පුද්ගලයා විසින් රාජකීය සේවයේ විවිධ අවස්ථාවල විවිධ නිල තනතුරු දැරීම නිසා සිදුවී ඇති බව පෙනේ.

මහනුවර රාජධානියේ නිල නාමයන් පුද්ගලයාගේ පවුල් නාමය නොව, ඔහු දැරූ රාජකීය නිලය හෝ පරිපාලන බල ප්‍රදේශය නිරූපණය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය විය. එබැවින් “පට්ටිපොළ” යනු ඔහුගේ පාලන ප්‍රදේශය වන අතර, “මුහන්දිරම්”, “මොහොට්ටාල” සහ “රටේ රාළ” යනු ඔහු විවිධ අවස්ථාවල දැරූ නිල තනතුරු ලෙස සැලකිය හැකිය.

“මුහන්දිරම්” යන තනතුරේ ස්වභාවය

“මුහන්දිරම්” යන නාමය පෘතුගීසි යුගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ පසුව ලන්දේසි සහ මහනුවර පරිපාලන ව්‍යුහයන් තුළද භාවිතයට පත්විය. මහනුවර රාජධානියේ මෙම තනතුර දරන්නන්, රාජකීය නියෝග ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය බදු පරිපාලනය, ආරක්ෂක කටයුතු, ප්‍රාදේශීය නිලධාරීන්ගේ අධීක්ෂණය, විශේෂ රාජකීය දූත මෙහෙවර, විදේශ තානාපති කාර්යයන් වැනි වගකීම් භාරව සිටියහ.

සියම් දූත මෙහෙවරේ ජ්‍යෙෂ්ඨතම තානාපතිවරයා ලෙස පට්ටිපොළ මුහන්දිරම් තෝරාගැනීමෙන් ඔහු මෙම සියලුම රාජකීය වගකීම් සාර්ථකව ඉටු කළ පළපුරුදු නිලධාරියෙකු වූ බව නිගමනය කළ හැකිය.

“රටේ රාළ” තනතුරේ වැදගත්කම

මහනුවර රාජධානියේ රටේ රාළ යනු ප්‍රදේශයක සිවිල් පරිපාලනය සහ රාජ්‍ය ආරක්ෂාව භාරව සිටි ප්‍රධාන නිලධාරියෙකි. ඔහු, රාජකීය බදු එකතු කිරීම, ඉඩම් පරිපාලනය, හමුදා සේවා සංවිධානය, රාජකීය නියෝග ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශීය නඩු විභාග, රාජ්‍ය තොරතුරු

රැස් කිරීම යන කාර්යයන් සඳහා වගකිව යුතු විය. මෙවැනි නිලධාරියෙකු ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරකට තෝරාගැනීමෙන් මහනුවර රාජධානිය විදේශ ප්‍රතිපත්තිය සඳහා පළපුරුදු පරිපාලකයන් යොදාගත් බව පැහැදිලි වේ.කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ විශ්වාසය 1750 සියම් දූත මණ්ඩලය සඳහා තෝරාගනු ලැබූ ප්‍රධාන තානාපතිවරුන් පස්දෙනා අතර පට්ටිපොළ මුහන්දිරම් ජ්‍යෙෂ්ඨතමයා ලෙස නම් කර තිබීම සාමාන්‍ය සිදුවීමක් නොවේ. එම දූත මණ්ඩලයේ ඇල්ලේපොළ මොහොට්ටාල, ඊරියගම මුහන්දිරම්, ඊත්තලියද්දේ මුහන්දිරම් සහ විල්බාගෙදර මුහන්දිරම් වැනි ප්‍රභූ නිලධාරීන්ද සිටියද, පට්ටිපොළ මුහන්දිරම්ට පළමු ස්ථානය හිමිව තිබීම ඔහුගේ නිල ජ්‍යෙෂ්ඨත්වය හා රාජකීය විශ්වාසය පිළිබඳ වැදගත් සාක්ෂියකි.

ආගමික රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ඔහුගේ භූමිකාව

පට්ටිපොළ මුහන්දිරම්ගේ කාර්යභාරය හුදෙක් රාජකීය ලිපියක් රැගෙන යාමට සීමා වූයේ නැත. ඔහුගේ වගකීම් අතර, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් පාලි භාෂාවෙන් සකස් කරන ලද රාජකීය සංදේශය සියම් රජු වෙත භාරදීම, සියම් මහා සංඝයා සමඟ සාකච්ඡා පැවැත්වීම, උපසම්පදා භික්ෂූන් ශ්‍රී ලංකාවට වැඩමවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවක් ඇතිකර ගැනීම, දෙරට අතර රාජකීය මිත්‍රත්වය ශක්තිමත් කිරීම ඇතුළත් විය.

මේ අනුව, පට්ටිපොළ මුහන්දිරම් ආගමික රාජ්‍යතාන්ත්‍රිකත්වය (Religious Diplomacy) ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ මුල්ම රාජ්‍ය නිලධාරීන් අතරින් අයෙකු ලෙස හැඳින්විය හැකිය.

ඉතිහාසයේ නොසලකා හැරුණු වීරයෙක්

ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය සම්බන්ධ බොහෝ ග්‍රන්ථවල විල්බාගෙදර මුහන්දිරම්ගේ දායකත්වය වැඩි වශයෙන් අවධාරණය වුවද, එම දූත මෙහෙවරේ මුල් නායකයා වූ පට්ටිපොළ මුහන්දිරම්ගේ දායකත්වය බොහෝවිට ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක්වී නොමැත. ඔහු සියම් දේශයේදී අභාවප්‍රාප්ත වීම නිසා අවසාන සාර්ථකත්වය දැකීමට නොහැකි වුවද, 1753 දී ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපසම්පදාව යළි ස්ථාපිත කිරීමට මූලික අඩිතාලම දැමූ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයේ මුල් නායකයා වූයේ ඔහුය.

.සියම් රජු වෙත යැවූ රාජකීය සංදේශය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් පාලි භාෂාවෙන් සකස් කරන ලද අතර, එය ආරක්ෂා කරගෙන ගොස් රාජකීය උත්සවයකදී භාරදීම දූත මණ්ඩලයේ ප්‍රධානියාගේ වගකීම විය.

මහනුවර රාජධානියේ තානාපති තේරීමේ ප්‍රතිපත්තිය

මෙම දූත මෙහෙවරෙන් තවත් වැදගත් කරුණක් හෙළි වේ. මහනුවර රාජධානිය විදේශ දූත මෙහෙවර සඳහා, සාමාන්‍ය ලිපිකරුවන්, භික්ෂූන් වහන්සේලා පමණක්, පණිවුඩකරුවන් යැවූයේ නැත. ඒ වෙනුවට, අමාත්‍ය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් තෝරාගනු ලැබීය. මෙය යුරෝපීය රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන්ට සමාන ප්‍රවේශයකි.

ඔහුගේ පත්වීමෙන් පහත දේශපාලන පණිවිඩ තුනක් සියම් රජු වෙත යැවුණි. පළමුව මෙය ශ්‍රී ලංකාවේ ඉහළම රාජ්‍ය මට්ටමේ දූත මෙහෙවරක් බව. දෙවනුව මහනුවර රාජධානිය සියම් රාජධානිය සමාන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව. තෙවනුව බෞද්ධ ශාසනය යළි ගොඩනැගීම සඳහා දෙරට අතර ස්ථිර මිත්‍රත්වයක් අපේක්ෂා කරන බව. ඉතිහාසඥයන්ගේ අවධානයෙන් ගිලිහුණු කරුණක් බොහෝ ඉතිහාසඥයන් සියම් උපසම්පදාව පිළිබඳ ලියන විට අවධානය යොමු කරන්නේ, උපාලි මහතෙරුන්, වැලිවිට ශ්‍රී සරණංකර හිමි, විල්බාගෙදර මුහන්දිරම් යන චරිත වෙතය.

එහෙත්, “1750 සියම් දූත මණ්ඩලයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයා කවුද?” යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ පට්ටිපොළ මුහන්දිරම් බව මුල් වාර්තා පැහැදිලිව දක්වයි. ක්‍රිස්තු වර්ෂ 1750 සියම් රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර සඳහා පට්ටිපොළ මුහන්දිරම් ජ්‍යෙෂ්ඨ තානාපතිවරයා ලෙස තෝරා ගැනීම මහනුවර රාජධානියේ විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය පරිපාලනය සහ ආගමික ප්‍රතිපත්තිය එකිනෙක සම්බන්ධ වූ ආකාරය පිළිබඳ වැදගත් සාක්ෂියකි. ඔහුගේ තේරීම පදනම් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය, පරිපාලන පළපුරුද්ද, රාජකීය විශ්වාසය සහ රාජ්‍යතාන්ත්‍රික නායකත්ව හැකියාව මත බව පෙනී යයි.

එබැවින් පට්ටිපොළ මුහන්දිරම්, ශ්‍රී ලංකාවේ ආගමික රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ පමණක් නොව, මහනුවර රාජධානියේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික සේවයේ මුල් පෙළේ නියෝජිතයෙකු ලෙස ද නැවත ඇගයීමට ලක්විය යුතුය. එසේම ඌව පළාතේ ජාතික වීරයා බවට ජනතා බුහුමන් ලැබිය යුත්තේ ද පට්ටිපොළ මුහන්දිරම් අභිමානවත් ඌවේ පුරවැසියාය.

මහාවංසය. (ගීගර් සංස්කරණය සහ සිංහල පරිවර්තනය). කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Lorna Dewaraja. (1995). The Kandyan Kingdom of Sri Lanka 1707-1782. Colombo: Lake House Investments.

Lorna Dewaraja. Thailand’s Gift to Sri Lanka: The Establishment of the Siam Nikaya. මෙම කෘතිය සියම් උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ සම්පූර්ණ ඉතිහාසය විස්තර කරයි.

Kitsiri Malalgoda. (1976). Buddhism in Sinhalese Society 1750-1900: A Study of Religious Revival and Change. Berkeley: University of California Press.

H. W. Codrington. A Short History of Ceylon. London: Macmillan.

C. E. Godakumbura. Sinhalese Literature. Colombo: Government Press.

රාජාවලිය.

පූජාවලිය.

සද්ධර්මරත්නාවලිය.

Department of National Archives of Sri Lanka. Kandyan Period Documents (රාජකීය ලේඛන, සියම් දූත මෙහෙවරට අදාළ ලිපි හා වාර්තා).

National Library of Thailand. Ayutthaya Royal Chronicles (සියම් රාජසභාව හා ලංකා දූත මෙහෙවර පිළිබඳ මූලාශ්‍ර).

Anuradha Seneviratna. Kandy: An Illustrated Survey of Ancient Monuments. Colombo: Central Cultural Fund.

සියම් උපසම්පදාව නැවත පිහිටුවීමේ ඓතිහාසික පසුබිම සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු, වැලිවිට ශ්‍රී සරණංකර හිමි හා උපාලි මහ තෙරුන්ගේ දායකත්වය පිළිබඳ විස්තර

නිමල් බණ්ඩාරඅධ්‍යක්ෂ ජනරාල් (අප්‍රිකානු අංශය)(ඊශ්‍රායලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති)විදේශ කටයුතු අමාත්‍යාංශයකොළඹ