අමෙරිකානු හමුදාවන් නැවත වරක් ඉරානය වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, ඉරානය මීට වඩා “හොඳින් හැසිරිය යුතු” බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබියදී යි. ​ලෝකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට තර්ජනයක් වූ ඉ…

අමෙරිකානු හමුදාවන් නැවත වරක් ඉරානය වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, ඉරානය මීට වඩා “හොඳින් හැසිරිය යුතු” බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබියදී යි. ​ලෝකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට තර්ජනයක් වූ ඉරාන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම බලඇණිය ප්‍රකාශ කළා. එමෙන්ම, ඉරාන වරායන් වෙත පනවා ඇති නැව් අවහිරතා උල්ලංඝනය කිරීමට උත්සාහ කළ තවත් නෞකාවකට ද ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ​ මෙම ප්‍රහාර එල්ල වුණේ බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත තමන් ප්‍රහාර එල්ල කළ බවට ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසුවයි. ​මේ අතර ලබන සතියේදී ඉරානය නැවතත් සාකච්ඡා මේසයට නොපැමිණියහොත් එරට පාලම් සහ විදුලි බලාගාර වෙත ද බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ආරක්ෂක සමුළුවක් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලා. ඉරානය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. ​කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කරන්නේ, මෙම එකඟතාවලින් ඉරානයට සෙතක් නොවන්නේ නම් ඒවා පිළිපැදීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බවයි. ඇමරිකාව සමඟ පවතින මෙම ගැටුම තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් බවත්, සාකච්ඡා මෙන්ම යුද්ධය ද තම රටේ ආරක්ෂක උපාය මාර්ගයන් බවත් ඔහු අවධාරණය කළා. ​දෙරට අතර පවතින මෙම සටන්කාමී තත්ත්වය හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය නැවත වරක් සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබෙනවා. මේ නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යමිනුයි තිබෙන්නේ.