මැයි රැලියට ආ ඡන්ද දායකයන්ගේ කෑම බිල ශ්‍රී ලන්කන් කේටරින් එකෙන් ගෙවීමසේවාදායකයා අදාළ මුදල ගෙවීමට පෙළඹවීමක් කර නැහැඔහු අක්මාවේ රෝගියෙක් ලිහිල් දඬුවමක් දෙන්නපියංකරගේ නීතිඥයාමේක රජයට සිදුවූ මූල්‍යමය අලාභයකට එහා ගිය දෙයක්අල්ලස් කොමිසමමෙවැනි වැරදි අධෛර්යවත් වන ලෙස දඬුවම් දීම අධිකරණයේ…
මැයි රැලියට ආ ඡන්ද දායකයන්ගේ කෑම බිල ශ්‍රී ලන්කන් කේටරින් එකෙන් ගෙවීමසේවාදායකයා අදාළ මුදල ගෙවීමට පෙළඹවීමක් කර නැහැඔහු අක්මාවේ රෝගියෙක් ලිහිල් දඬුවමක් දෙන්නපියංකරගේ නීතිඥයාමේක රජයට සිදුවූ මූල්‍යමය අලාභයකට එහා ගිය දෙයක්අල්ලස් කොමිසමමෙවැනි වැරදි අධෛර්යවත් වන ලෙස දඬුවම් දීම අධිකරණයේ වගකීමක් – විනිසුරු
අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණ චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා බරපතළ වැඩසහිත වසර 14 ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම වසර හතක කාලයකින් ගෙවී යන පරිදි ලබාදීමට ඊයේ (01දා) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2019 වසරේදී පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා දෙකකට විත්තිකරු වරදකරු බවට සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා, එකී චෝදනා දෙකට බරපතළ වැඩසහිත වසර හත බැගින් වූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියම කළේය. කෙසේ නමුත් චෝදනා දෙකට වෙන් වෙන්ව නියම කළ එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර හතක කාලයකින් ලබාදීමට නියම කළ විනිසුරුවරයා දඩ මුදල වන රුපියල් ලක්ෂ දෙකක මුදල නොගෙවන්නේ නම් අමතරව එක් වසරක සිරදඬුවමක් ලබාදීමට ද වැඩිදුරටත් නියම කළේය.
2014 වසරේ මැයි 1 වැනිදා කොළඹ පැවැති මයි දින සැමරුමට සහභාගි වූ සිය ඡන්ද කොට්ඨාසය වන ආණමඩුව ආසනයේ ජනතාවට මාරවිල ප්‍රදේශයේ පිහිටි ආහාර සැපයුම් ආයතනයකින් දිවා ආහාරය ලබාදී ඒ සඳහා වැය වූ මුදල වන රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදල තම අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ මුදලින් ගෙවීමට එහි ප්‍රධාන විධායක නිලධාරියා පෙලඹවීම හා එමගින් රජයට රුපියල් තුන් ලක්ෂ තිස් දහසක අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි.
තම අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකරු රජයේ මුදල් සිය දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම මගින් අයුතු ලෙස හා නීතිවිරෝධි අර්ථලාභයක් ලබාගැනීමේ චේතනාවෙන් යොදවා ඇති බවට පැහැදිලි වන බවත් ඔහු එකී ක්‍රියාව සිදුකර ඇත්තේ එමගින් රජයට අයුතු අලාභයක් සිදුවන බව දැනම මිස නොදැනුවත්ව නොවන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය. මහාධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් විවෘත අධිකරණය හමුවේ එකී තීන්දුව මගින් විත්තිකරු වරදකරු බවට නිගමනය කර ඇති බව පෙන්වා දීමෙන් අනතුරුව අධිකරණය ඇමැතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසීය.
“ස්වාමීනි මගේ සේවාදායකයාට එරෙහිව වෙනත් චෝදනා කීපයක් යටතේ මහාධිකරණ හමුවේ තවත් නඩු කීපයක් තිබෙන බව ඇත්ත. නමුත් ඔහු මේ වනතුරු කිසිම චෝදනාවකට වරදකරු කර අධිකරණ මගින් දඬුවම් නියම කළ අයෙක් නෙමෙයි. වයස අවුරුදු 62 ක පුද්ගලයකු වන ඔහු අක්මාවේ රෝග තත්ත්වයකට දීර්ඝ කාලයක සිට වෛi ප්‍රතිකාර ලබන අයෙක්. මෙකී චෝදනා ගොනු කිරීමෙන් පසුව අපි අල්ලස් කොමිෂන් සභාවට ලිඛිතව යෝජනා කළා ඔහු අතින් යම් වරදක් සිදු වුණා නම් අල්ලස් පනතේ 67 වන වගන්තිය යටතේ එකී අලාභය ගෙවා දමා නඩුව අවසන් කිරීමට සූදානම් බව. නමුත් අල්ලස් කොමිෂන් සභාව එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. හැට හැවිරිදි ඔහුගේ බිරිඳ ක්ෂණිකව ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන තැනැත්තියක්. එවැනි අවස්ථාවකදී දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දීමේ හැකියාව ඇයට නැහැ. විත්තිකරු හා බිරිඳ පමණයි නිවසේ ජීවත්වන්නේ. එවැනි කරුණු සලකා විත්තිකරුට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔබතුමාගේ නියෝගයේ තිබෙනවා මගේ සේවාදායකයා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව එකී මුදල ගෙවීම සඳහා පෙලඹවීමක් කර ඇති බව නමුත් එහෙම පෙලඹවීමක් කරලා නැහැ.”
ඉන් අනතුරුව අධිකරණය ඇමැතූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ආචාර්ය යස්මදා ලොකුනාරන්පනාව මහත්මිය අධිකරණයට මෙලෙස පැවසුවාය.
“ස්වාමිනි අල්ලස් කොමිෂන් සභාව 2019 වසරේදී මෙම නඩුව පැවරුවේ මාරවිල ප්‍රදේශයේ පිහිටි කේටරින් සමාගමකට රුපියල් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් චෙක්පතක් මගින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ මුදලින් ගෙවීමට පෙලඹවීම ඇතුළු චෝදනා යටතේයි. එකී චෝදනාවලට විත්තිකරු වරදකරු බවට ඔබතුමාගේ ගරු අධිකරණය තීරණය කර ඇති නිසා අවුරුදු 10 බැගින් වූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂය බැගින් දඩ ගෙවීමට නියම කළ හැකියි.
එයට අමතරව 2023 අංක නමය දරන දූෂණ විරෝධි පනතේ 150 වගන්තිය යටතේ මාර්ගෝපදේශ අනුව රජයට සිදු වූ හානිය හානිපූරණය කිරීමට එනම් වන්දි ගෙවීමටත් නියම කිරීමට ඔබතුමාගේ ගරු අධිකරණයට හැකියි. විත්තිකරු කියනවා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායකට තමන් ලිපියක් යොමු කරමින් පෙරකී මැයි දිනයට සහභාගි වූ සිය ඡන්දදායකයන්ට ලබාදුන් ආහාර සඳහා වැය වූ මුදල ගෙවන්න පෙලඹීමක් කළේ නෑ, කළේ ඒ සඳහා ඉල්ලීමක් විතරයි කියලා. විත්තියේ ස්ථාවරය ඒක වුණත් ඇත්තෙන්ම ඒක පෙලඹවීමක්. විත්තිකරු ඉදිරිපත් කළ එම ලිපිය තමයි පැමිණිල්ලේ හදවත. මේක රජයට සිදුවූ මූල්‍යමය අලාභයකට එහා ගිය දෙයක්. මේක මහජන ඡන්දයෙන් පත්වූ විත්තිකරු ඔහුට ලැබුණ නිල බලය තමන්ගේ පුද්ගලික දේශපාලන යහපත වෙනුවෙන් බෙදාගැනීමක්. මහජන නියෝජිතයන් රජයේ නිලධාරීන් තීරණ ගත යුත්තේ මහජන යහපත වෙනුවෙන්.
මේ චූදිත කරලා තියෙන්නේ තමන්ට ලැබුණු මහජන බලය පාවිච්චි කර රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමයි. මහජනතාවට මේ රටේ සිදුවන දූෂණ ක්‍රියා පිළිබඳව එතරම් දැනීමක් නෑ. එනිසා එවැනි දූෂණ ක්‍රියා පිළිබඳව දැනුමක් ලැබෙන පරිදි විත්තිකරුට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. දූෂණය කියන වරද පිළිකාවක් වගේ ඔඩුදුවන වසංගතයක් වගේ පැතිර යන දෙයක් කියන එකත්, එවැනි දූෂිතයන්ට දඬුවම් ලබාදීම ආරම්භ කළ යුත්තේ ඉහළ සිට බවත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුවක් මගින් පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය බලය වරප්‍රසාදයක් නොව ජනතාවගේ භාරයක් බවත් එවැනි තීන්දු මගින් පෙන්වා දී තිබෙනවා.”
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා:
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අල්ලස් කොමිෂන් සභාවේ නීතිඥවරිය දේශපාලන ස්වරූපයේ දේශනයක් කළා. ඇය පෙන්වා දුන් තීන්දුවලම තිබෙනවා. ඒ වගකීම මහජන නියෝජිතයන්ට විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්ටත් තිබෙනවා කියලා.
විත්තිකරු මෙම චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති වැරදි සිදුකර ඇත්තේ වගකීමක් පැවරී තිබූ අමාත්‍යවරයකු ලෙස රාජකාරි කරමින් සිටියදී බවත් මහජනභාරයක් ලෙස පැවැරී තිබූ වගකීමක් පැවැරි තිබියදී සිදුකර ඇති එම වැරදි සම්බන්ධයෙන් ලිහිල්ව සලකා කටයුතු කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බවත් මහාධිකරණ විනිසුරු මොහොමඩ් විහාල් මහතා විත්තිකරුට එකී දඬුවම් නියම කරමින් පෙන්වා දුන්නේය. ඉදිරියේදී එවැනි වැරදි සිදුකිරීම අධෛර්යවත් වන අයුරින් දඬුවම් ලබාදීම සිය අධිකරණයේ වගකීම බව ද විනිසුරුවරයා එම දඬුවම් නියම කරමින් පෙන්වා දුන්නේය.ඒ. ජේ. ඒ. අබේනායක

