කොණ්ඩය කපා හැඩ රුව හා නම් ද වෙනස් කරගෙන කොළඹ වරාය නගරයේ සිටි චීන ජාතික ජාත්‍යන්තර පරිගණක අපරාධ කල්ලියක ප්‍රධානියකු පැහැරගෙන ගොස් ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑවකදී අමානුෂික ලෙස පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් වන චීන ජාතිකයන් දෙදෙනකු සීගිරියේ ලැගුම්හ…

කොණ්ඩය කපා හැඩ රුව හා නම් ද වෙනස් කරගෙන

කොළඹ වරාය නගරයේ සිටි චීන ජාතික ජාත්‍යන්තර පරිගණක අපරාධ කල්ලියක ප්‍රධානියකු පැහැරගෙන ගොස් ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑවකදී අමානුෂික ලෙස පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් වන චීන ජාතිකයන් දෙදෙනකු

සීගිරියේ ලැගුම්හලක සැඟවී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් ආරවුලක් මත මෙම පරිගණක අපරාධ කල්ලි නායකයා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඔහුගේ ගෝලයා විසින් බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් චීන ජාතිකයන් දෙදෙනකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර මෙම සැකකරුවන් ද සමග මේ වනවිට සැකකරුවෝ සිව්දෙනෙක් අත්අඩංගුවේ සිටිති.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් චීන ජාතිකයන් තිදෙනකු හොර රහසේ ම රටින් පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවකු මෙරට සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වෙමින් කෝටි ගණනින් මුදල් උපයමින් සිටි මෙම චීන ජාතිකයා සංවිධානාත්මක චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන තිබුණේ ඔහු කොළඹ වරාය නගරයේ මාළු බාමින් සිටියදීය.

එසේ පැහැරගත් චීන ජාතිකයා ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් පහරදී කපා කොටා ඝාතනය කර සිරුර වළදමා පලාගොස් තිබිණි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කර වළදමා තිබූ චීන ජාතිකයාගේ සිරුර සොයාගෙන තිබිණි.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් කොණ්ඩය කපා සිය ස්වරූපය වෙනස් කරගෙන ඔවුන්ගේ නම් පවා වෙනස් කරගෙන සිට ඇති බව පොලිසිය පවසයි.නෝමන් පලිහවඩන – හේමන්ත රන්දුණු