ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊය…
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊයේ (31දා) නියෝග කළේය.
සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී රවි කරුණානායක මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවි කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා 4කදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණි බවත්, එම නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඉකුත් 29දා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් පරීක්ෂා කළ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
තවද අල්ලස් කොමිසමට පැමිණ ලෙස දන්වා සිටියදී දිගින් දිගටම දීර්ඝ දින ඉල්ලා කල් දැමූ බවත් අල්ලස් කොමිසම සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදි සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යය සදහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දුන් නමුත් කරන ලද විමර්ශනවලදී නුවරඑළිය ප්‍රදේශයට නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
මෙම සැකකරු 2015.01.12 වැනිදා සිට 2017.05.22 වැනිදා දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස සිටිය දී එම ධූරය දරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් වැටුප් ගෙවීමේ පදනම මත මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනකු සහ කළමනාකරණ සහකාරවරයකු ලෙස පුද්ගලයන් තිදෙනකු ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපති ශ්‍යාමිලා පෙරේරා නමැත්තිය සමඟ එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන එම මණ්ඩලය මඟින් වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියහ.
මෙම සැකකරු පළමු සැකකාරිය සමග එකතු වී සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණට දන්වා සිටියේය. එනම් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තියට අදාළව දුෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව මත හිටපු මුදල් අමාත්‍යවරයාට වෝදනා ගොනු කර තිබුණි.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය මහතා පවසා සිටියේ සිය සේවාදායකයා බොහෝ රෝගී තත්ත්වයන්වලින් පෙලෙන බැවින් ඇප ලබා දෙන ලෙසයි.
තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥවරයා මෙසේද පැවැසීය.
“ස්වාමීනි මාගේ සේවාදායකයාට දැනට ස්ටෙයින් 5ක් දලා තියෙනවා. 2026/8/26 දින සිංගප්පූරු රෝහලේදී කරන ලද පරීක්ෂණයට අදාළ වෛද්‍ය වර්තාවල සඳහන් කර තිබෙනවා. අනාගතයේ දීත් තව ස්ටෙයින් 3ක් දැමීමේ හැකියාවක් තිබෙන බව. තවද මාගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා නමැති රෝගයෙන් පෙළෙනවා. තවද මරාන්තික බැක්ටීරියාක් වන සෙලුලයිටිස් කියන බැක්ටීරියාව ආසාදනය වී තිබෙනවා. ඒ නිසා ඔහුට පරිසර ආසාදිත තැන්වල ඉන්න බැහැ.
වෛද්‍ය ගෝඨාභය රණසිංහ විසින් ඔහුට දෛනිකව ගත යුතු බෙහෙත් වට්ටෝරුවක් ලබාදී තිබෙනවා. ඒවා හැමදාම ගත යුතුයි. එසේම දියවැඩියාවට ඉන්සියුලීන් විදිනවා. මෙහි පළමු සැකකාරියට ඇප ලබා දී ඇති බැවින් මාගේ සේවාදායකයාද ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
තම සේවාදායකයාට අධිකරණයය මගහැරීමට හේතුවක් නොමැති බවත් ඉහළ අධිකරණවල ද තවත් නඩු පවතින බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.ඒ. ජේ. ඒ. අබේනායක

