මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පාදනයන්හි නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත්තේ. පස…

මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පාදනයන්හි නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත්තේ. පසුගිය වකවානුව තුළ විවිධ සන්නාමයන් යටතේ සබන් වර්ග රැසක් මෙරට වෙළෙඳපොලට නිකුත් කිරීම නිරීක්ෂණය කර ඇති අතර ඒවා නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව රෙගුලාසි නිකුත් කර තිබෙනවා. මෙරට ජනතාව අතර ජනප්‍රිය මෙන්ම වසර ගණනාවක් පුරා වෙළෙඳපොල තුළ පවතින ප්‍රධාන සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරන අතර එම නිෂ්පාදනයන්හි අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලබනවා. එහෙත් වෙළෙඳපොල තුළ දක්නට ලැබෙන ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම්වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වුණා. ඒ අතර ඇති බහුතර සබන් නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා බවටද තොරතුරු වාර්තා වනවා. ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුයි. ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය සියයට ප්‍රතිශතයක් ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතු බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙම විධානය අදාළ වන සබන් වර්ග මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මකයි.