මේ සතියේ සමාජ දේශපාලන අංශවල පමණක් නොව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද ප්‍රමුඛ මාතෘකා බවට පත්ව තිබුණු ඩෙංගු උවදුර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරැකීම වැනි කරුණු සියල්ල මොහොතකට යටපත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානා…
මේ සතියේ සමාජ දේශපාලන අංශවල පමණක් නොව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද ප්‍රමුඛ මාතෘකා බවට පත්ව තිබුණු ඩෙංගු උවදුර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරැකීම වැනි කරුණු සියල්ල මොහොතකට යටපත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක 25 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණීම නිසාය. පාර්ලිමේන්තුව අමතා කතා කළ ජනාධිපතිවරයා යළිත් ජනතාවටත් සියලු දේශපාලන හා සිවිල් සංවිධානවලටත් සහතික වූයේ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී හා මහජන අභිලාෂයන්ට පටහැනිව කිසිසේත් කටයුතු නොකරන බවටය. මේ වනවිට රට පුරා සිදුවන ගොවියන්ගේ උද්ඝෝෂණ, සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන විවිධ විවේචන හා අර්ථ දැක්වීම් ද සිදුවේ. ජනාධිපතිවරයා පවසා සිටියේ එබඳු විවිධ චෝදනා වැඩි වසයෙන් විපක්‍ෂවල අයට ද එල්ල වීම නිසා ඒවා දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීමේ ප්‍රවණතාවක් ද ඇතිවී තිබෙන බවය.එහෙත් බොහෝ සංවිධානාත්මක අපරාධකරුවන් හා දේශපාලනඥයන් අතර දැඩි සබඳතා තිබුණු බව අණාවරණය වී තිබෙන අයුරු ද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.
ජනාධිපතිවරයාගේ ඒ අනාවරණයන් සමාජය තුළ ප්‍රචලිතව තිබෙන බවද රහසක් නොවේ. ආණ්ඩුව සංවිධානාත්මක අපරාධ මර්දනය පිළිබඳව කැපවී සිටින අයුරු ජනතාවට ද පැහැදිලිය. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරෙන සිල්ලර දේශපාලන විවේචන කුමක් වුවද ඒවා සෑහෙන කලක් වර්ධනය වූයේ දේශපාලන සෙවණ යට බව කවුරුත් දනිති. ජාතික සම්පත් කොල්ලකෑමට පමණක් නොව නීතිය අවභාවිත කිරීමට බොහෝ අය උනන්දු වී ඇත්තේ ද දේශපාලන දිරිගැන්වීම්, නොතකා හැරීම් හෝ ඔවුන්ගේ නිලබල සහායෙන් බවද පෙනේ. ඇතැම් අල්ලස් හා වංචා, හොරකම් දේශපාලන බලය යොදා යටපත් කර තිබීම ගැන ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබුණි. මේ ආණ්ඩුවට ලබා දී තිබෙන ජනවරම පදනම්ව ඇත්තේ ද යහපත් රටක් ලස්සන හෙටක් ලබාදීමේ ප්‍රතිඥාව ඉටුකිරීමට බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේ අද මේ රටට ශිෂ්ටත්වය අත්‍යවශ්‍යව තිබෙන බවය. මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කලබල කිරීම් ගැන ද මතක් කළේය. පාර්ලිමේන්තුවේ සෙංකෝලය උස්සා ගැනීමේ සුපුරුදු රණ්ඩුව දෙස බලන ජනතාව එය කිසිසේත් ශිෂ්ට ක්‍රියාවක් ලෙස අනුමත නොකරන බවද ඔහු කීවේය. මෙයට පෙර කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවද්දී රටට දුන් දුෂ්ට අශිෂ්ට ආදර්ශය ද අපට මතකය. කථානායකවරයාගේ අසුනෙහි වාඩි වූ විකට ජවනිකා ද එදා අපට දැකගත හැකි විය. ඒ තබා පහර දීම් මිරිස්කුඩු ගැසීම් ආදිය ද සිදුවිය. ඇතැම් මැති ඇමැතිවරුන් එදා ක්‍රියා කළේ මැරයන් ලෙසය. රටක පාලන බලය හිමි පක්‍ෂයක් නිරන්තරයෙන්ම මහජනතාවට ලබාදිය යුත්තේ ශිෂ්ටත්වය හා මානව ගරුත්වය පිළිබඳ පරමාදර්ශ පමණි. මෙරටේ ඇතැම් අමන ක්‍රියාකාරකම් පවා සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බවට ද චෝදනාවක් තිබේ.
ඉන්දියාවේ විශිෂ්ට නායකයකු වූද ජගත් බුහුමනට පාත්‍ර වූ අගමැතිවරයකු වූද ජවහර්ලාල් නේරු පවසා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක වර්ධනයට ස්වයං ශික්‍ෂණයක් අත්‍යවශ්‍ය බවය. අද මේ රට නිසි මඟට ගැනීම දුෂ්කර වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කළ නීතියට උඩින් සිටීමට ප්‍රිය කළ දේශපාලනඥයන්ගේ අධිකාරි බලය නිසා බවද නිසැකය. ජනාධිපති අනුර කී ආකාරයටම පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැර ගෙන යෑම වීරකමක් ලෙස ජනතාව නොසිතන බව අපගේ ද අදහසය. පසුගිය දිනවල මේ සෙංකෝල රණ්ඩුව රූපවාහිනි නාලිකාවලින් රට ම බලා සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ තවත් වැදගත් අවධාරණයක් විය. ඒ මේ ආණ්ඩුවට විරෝධය දැක්වීමට, ප්‍රශ්න කිරීමට ජනතාවට තිබෙන අයිතිය ගැනය. ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස්, ජල ප්‍රහාර යොදා ගැනීම මේ ආණ්ඩුව නොකරන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා පැවසුවේ ඒවා පෞද්ගලික නිවාස ඉදිරිපිටට නොගෙන යා යුතු බවය. ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව වැනි ස්ථානවලට නුදුරුව ඒ විරෝධතා පැවැත්වීමට නිදහසක් තිබෙන බවද ඔහු කීවේය. දේශපාලන විවේචනයක් ලෙස අපට කිව හැක්කේ ද ප්‍රජාතන්ත්‍රවාදය යනු පුරවැසියකු තම කතිරය ගසා ඡන්ද පෙට්ටිවලට දැමීමෙන් අවසන් වන්නක් නොවිය යුතු බවය.
මේ වනවිටත් දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවද ඔහු කියා සිටියේය. මේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටින හිටපු හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේගේ සිදුවීම පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් නොකළත් ඒ වෙනුවෙන් උද්ගතව තිබෙන ආන්දෝලනයන්ට ඔහු පිළිතුරක් දුන් බවද හැඟේ. ඔහු පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ හමුදාවල බුද්ධි අංශවල සුළු පිරිසක් රටේ පොදු නීතියට පටහැනිව පක්‍ෂයක් හෝ පවුලක් වෙනුවෙන් ක්‍රියාකර තිබේ නම් එය වරදක්, අපරාධයක් බවය. පාස්කු ඝාතනයක් වැනි ම්ලේච්ඡ අපරාධයක් විමර්ශනය කිරීමට අද තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම වරදක් වෙන්නේ කෙසේද? යන ප්‍රශ්නය ද ජනාධිපතිවරයා මතුකර තිබිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරනවිට එය පළිගැනීමක් වන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා විමසුවේය. ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න වැනි නිලධාරීන්ට අද එල්ල කෙරෙන විවේචන පදනම් විරහිත බව ද ඔහු දැඩිව පැවසීය. සුරේෂ් සලේ කේන්ද්‍ර කරගත් සිදුවීම් පෙළ නාටකයක් සේ ජනතාව දුටු සිද්ධි දාමයකි. සලේට චෝදනා එල්ල වී තිබෙන්නේ විශාල මිනිස් ඝාතනයකට අදාළවය. එමතු නොව ඒ හා ගැටගැසුණු දේශපාලනයක් පිළිබඳ සැකයක් ද එයට එක්ව තිබේ. මේ සියල්ල නිරාකරණය කරගත හැක්කේත් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් වින්දිතයන්ට සාධාරණය ඉටු කළ හැක්කේත් අධිකරණයට පමණි. ඒ අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට චූදිතයන්ට බාධාවක් නැති බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.
මෙහිදී විපක්‍ෂය ඇතුළු ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් ප්‍රශ්න කරනු ලබන විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමට අදාළ කථිකාව පිළිබඳව ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. ශ්‍රෙෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණ විනිසුරුවන් කීපදෙනෙකුගේ පුරප්පාඩු පිරවීම අතපසු කළ බවට ප්‍රකට චෝදනාවක් නීති ක්‍ෂේත්‍රයෙන් ද නැඟුණි නීතිඥවරුන්ගේ සංගමය ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු ද එලෙස විනිසුරු කාලය සංශෝධනය කිරීමට එරෙහිව කරුණු කීහ. මෙයින් ආණ්ඩුවේ යටි අරමුණක් ඉටුකර ගැනීමට සැරසෙන බවටද චෝදනා නැඟුණි. අපගේ අවබෝධය අනුව වුවද මෙබඳු සංශෝධනයක් සිදු කිරීමට අදාළ නීතිමය රාමුවක් තිබේ. මේ සම්බන්ධයෙන් පළවී තිබෙන අදහස් ද සමාජගතව තිබේ. පාර්ලිමේන්තුවේ මීට පෙර ද මෙම ප්‍රශ්නය නැඟූ බව අපට ද මතකය. එසේම මීට පෙර සිටි ජනාධිපතිවරුන් දෙදෙනකුට ම අධිකරණයට බලපෑම් කළ බවට චෝදනා ද නැඟී ඇත. රටේ උත්තරීතර ආයතන ලෙස ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාට හා අගවිනිසුරුතුමාට ද මොනම හේතුවක් නිසා හෝ දේශපාලන බලපෑම් සිදුවිය යුතු නැත.
මෙරටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ තිබෙන ගෞරවය හා පිළිගැනීම ඉතා ඉහළය. අධිකරණය ඉදිරියට යෑමට පෙර යුක්තිය පසිඳලීමට පොලිසිය හා අපරාධ විමර්ශන කරන ඇතැම් නිලධාරීන්ට චෝදනා නැඟුණු අවස්ථා ද වේ. එහෙත් බලවතාට නීතිය යටපත් කිරීමට අධිකරණය ඉඩ නොදෙන බව මෙරටේ පිළිගත් කරුණකි. ක්‍රි.පූ. 7 වැනි සියවස තරම් ඈත යුගයක නීතිය ලේඛනගත කළ බවද කියති. විධිමත් අධිකරණ ක්‍රමයක් ඉල්ලා ග්‍රීසියේ ජනතාව උද්ඝෝෂණ කළ බවද කියති. පොලිසිය හා අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක්, දෙගිඩියාවක් තිබෙන අවස්ථා ද මෙරටේ තිබේ. කලකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසු පස පිස්තෝලයක් රැගෙන හඹා ගිය දේශපාලන මැරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් මැරයා අත තිබූ පිස්තෝලය නීතිය ඉදිරියේ දී සෙල්ලම් පිස්තෝලයක් බවත් බියගැන්වීමට එය යොදාගත් බවත් පොලිසිය පැවසීම නිසා මැරයා නිදහස් විය. මෙයින් තහවුරු වන්නේ අධිකරණයේ දී යුක්තිය ඉටුවීමට නම් පහළ තිබෙන පොලිසිය හා අදාළ විමර්ශන ස්වාධීනව සිදුවිය යුතු බවය.
මෙරටේ විනිසුරුවරුන් කීපදෙනකු හා එක් අගවිනිසුරුවරයෙක් සම්බන්ධයෙන් විකල්ප පුවත්පතක් වූ රාවය කළ අනාවරණයන් අපට ද මතකය. එහිදී දූෂණ හා වංචා චෝදනා පවා නැඟුණි. රාවය කර්තෘ වික්ටර් අයිවන් ලියූ ‘නොනිමි අරගලය’ කෘතියෙහි මේ පිළිබඳව සඳහන්ව ඇත. එහෙත් මෙරටේ අධිකරණ ක්‍ෂේත්‍රය පිළිබඳ විශ්වාසය හා ගෞරවය බිඳ වැටී නැති බවද කිව යුතුය. ජනාධිපති අනුර අවධාරණය කළේත් ආණ්ඩුව කිසිදු ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බවත් යථා පරිදි ඒවායේ පත්වීම් සිදු කිරීමට පියවර ගන්නා බවත්ය. ජනාධිපතිවරයා එලෙස ප්‍රතිචාර දැක්වූයේ විනිසුරු පත්වීම් ප්‍රමාදය ගැන විපක්‍ෂය දැඩි විවේචන හා චෝදනා නඟමින් තිබෙන පසුබිමකය. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ කලබැගෑනියක් ඇති වූයේ ද විපක්‍ෂය මේ ප්‍රශ්නය මතු කරමින් විවාදයක් ඉල්ලා සිටීම නිසාය. එහෙත් කථානායකවරයාගෙන් එයට අවකාශ නොලැබුණි. ඒ පිළිබඳව උරණ වූ විපක්‍ෂය සභා ගර්භය මැදට පැමිණ ඝෝෂා කළහ. කීපදෙනෙක් සෙංකෝලය රැගෙන යෑමට ද තැත් කළහ. එහෙත් එයද ඉටු නොවුණි.
පාර්ලිමේන්තුව යනු අශිෂ්ටත්වයට යටත් නොවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය බවද රහසක් නොවේ. එතැනදී පාර්ලිමේන්තුවේ ගෞරවය නොතකා පාතාල කල්ලියක් මෙන් ක්‍රියාකිරීම කිසිවකුට අනුමත කළ නොහැක. ජනාධිපති අනුර පැවසුවේද ඒ පන්නයේ අශිෂ්ටත්වයට තම පාලනය යටතේ ඉඩ නොලැබෙන බවය. එදා ඒ ආණ්ඩු පක්‍ෂ – විපක්‍ෂ ගැටුම රූපවාහිනි නාලිකා මගින්ද රටට දැක බලා ගැනීමට සලස්වා තිබුණි. ඇත්ත වසයෙන්ම මෙරටේ තිබුණු සමාජ සංස්කෘතික හර පද්ධතීන් බොහොමයක් නාය ගියේ ද මේ අවිදග්ධ දේශපාලන රස්තියාදුකාරයන්ගේ ක්‍රියා නිසා නොවේද?
මෙබඳු මුග්ධ ක්‍රියාකාරකම් හෙළා දැකීමට තරම්වත් එදා පාලනය භාරව සිටි අයට අවශ්‍ය නොවීය. සමස්ත දේශපාලන ක්‍රමය ගරා වැටීමට ඉඩදුන් ඒ පාලකයන්ටම තම දේශපාලන සගයන් හික්මවා ගත නොහැකි විය. ගෙවී ගිය දසක තුනකට නො අඩු කාලය තුළ මෙ රටේ ලුම්පන් සමාජ තීරුවේ විශාල වර්ධනයක් ඇතිවූ බවද රහසක් නොවේ. කළු සල්ලි ආර්ථිකයට මෙන්ම සමාජ මතු මහලට නැඟීමට ද ප්‍රබලම සාධකය විය.
ජනාධිපති අනුර පැවසූ පරිදිම අද ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී විරෝධතා මැඬලීමට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර යොදා ගන්නේ ද නැත. රටේ පාලකයන් හා අපරාධකල්ලි අතර තිබුණු ඇයි හොඳයිකම්, ගැන ද අද වාර්තා නොවේ. පාතාලය හා ආයුධ සංසරණය වීම පිළිබඳ විවේචන තිබෙන බව ඇත්තය. එහෙත් ඒවා දේශපාලනය සමග නොඇලුණු නොගැටුණු දේවල් බවද පෙනී යයි. එසේ වුවද පැරණි දේශපාලන පන්නය අතට ගත් ජවිපෙ කාඩරවරුන් ගැන ද චෝදනා තිබේ.
ජනාධිපතිවරයාගේ කථාව, ජනතාව අබියස තැබූ පොරොන්දු මෙන්ම බලාපොරොත්තු ද බොහෝ ය. අද පොදු ජනතාව මෙන්ම මධ්‍යම පන්තිය ද අර්බුදවල ගිලී සිටින බව ද රහසක් නොවේ.
ජන ජීවිත ප්‍රශ්න නිසා හෙම්බත්ව සිටින බවට විපක්ෂ පමණක් නොව සිවිල් සංවිධාන ද පෙන්වා දී තිබේ. වැට් බදුවලින් මහා භාණ්ඩාගාරය පිරෙමින් තිබුණත් පොඩි මිනිසාගේ පොකට්ටුව හිස්ය. මූල්‍ය හා ආර්ථික විශේෂඥයන්ගේ අනතුරු ආඟවීම් ද ඇසෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ එහි බලධාරීන් සතුටු වුවද රටේ සැලසුම් සහගත ආර්ථිකයක් ගොඩ නැඟෙන බවක් නොපෙනේ. එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයේ ආර්ථික කඩාවැටීමක් මේ රටට ආදරය ඇති කිසිවෙක් ප්‍රාර්ථනා නොකරති.
මැදපෙරදිග අවුල ලිහී යමින් තෙල් මිල පහළට එන බව කවුරුත් දනිති. එසේ ම ඒ සහනය දැන්ම ජනතාවට නොලැබෙන බවද කියනු ඇසෙයි. විපක්ෂ නායක හා බලශක්ති ඇමැති දෙදෙනා තෙල් මිල ගැන පාර්ලිමේන්තුවේදී වාදයක ද පැටලී සිටියේය. එහෙත් ජනතාවට සිදුවූ සෙතක් ද නැත. ගෑස්, විදුලිය හා ඉන්ධන යනු අද ජනතාවට තිබෙන මරණ තුනක් වැන්න. ඒවායේ ආදීනව ගැන අලුතින් අටුවා ටීකා ලිවිය යුතු ද නැත.
මේ සියල්ල මැද ජනතාවගේ ගේ දොරකඩට ම පැමිණ විලිස්සන ඩෙංගු මාරයෙක් ද සිටියි. ඩෙංගු ව්‍යාප්තියෙහි හා මරණවල වාර්තාව කොළඹට හිමිවී තිබේ. මෙරටේ ඩෙංගු මරුවා විසින් කරන ලද හා අද දවසේත් කරමින් තිබෙන විනාශය බරපතළය. ඩෙංගු මදුරුවෝ දේශපාලන පක්ෂයකට, සංවිධානයකට හෝ කිසිදු සමාජ තරාතිරමකට මායිම් නොකරති. උගේ මාරක මෙහෙයුම් නිසා අහිමිවූ ජීවිත කෙතරම් ද? ඩෙංගු මර්දන මෙහෙයුම් රට පුරා ම සිදුවන බවද පෙනී යයි. එහෙත් මාරසේනාව ව්‍යාප්තවූ පසු සිදුවන මෙහෙයුම සෞඛ්‍ය බලධාරීන් ගේ දුබලතාවක් බවද කිව යුතුය. පරිසරයට සංවේදී නොවූ දේශපාලන අශිෂ්ටයෝ ද මේ රට කිළිටි වීම, පරිසරය යක්ෂයාට යෑම ගැන මෙහිදී වගකිව යුතු වෙති. එසේ ම තමන් ජීවත්වන නිවස, වටපිටාව, ඩෙංගු මදුරුවන්ට උචිත ලෙස පවත්වා ගෙන යන ජනතාව ද මෙයට වැරදි කරුවෝය. මාධ්‍ය වාර්තා කළ අන්දමට ඩෙංගු ව්‍යාප්තියට චෝදනා ලැබ දඩ ගෙවූ අය තවමත් ඒ වරදම ඒ ආකාරයෙන් ම සිදු කරන්නෝ ය. මාතර පැවති ඩෙංගු වළක්වාලීමේ ශ්‍රමදානයකට එක්වූ සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා කීවේත් නීතියට, දඩවලට, නඩුවලට බය නැති පිරිස් සමාජය ම විපතට හෙළා සිටින කථාවකි. ඒ බිය නැති කරන ලද්දේත් දූෂිත දේශපාලනඥයන් විසින් බවද අවධාරණය කළ යුතු ය. කුමක් වුවත් ජනාධිපති අනුර කුමාර පැවසූ ශිෂ්ටාචාරයේ රට, මනුෂ්‍යත්වයේ පුරවරය ප්‍රජාතන්ත්‍රවාදයේ නීතියේ ආධිපත්‍යය අද රට ම ඉල්ලා සිටින්නකි.

