රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නියෝගය ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා සඳහන…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නියෝගය ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකරන බවත්ය.
මෙම පෙත්සම් ඊයේ (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළේය.
ඒ අනුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සිටින සියලු විනිසුරුවරුන් අසුන් ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලී සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් විසින් මෙම ඉල්ලීම සිදුකරන ලදී.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව කීවේය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඬුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන බව පැවසූ සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.
අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව කීහ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67කි.
ඒ, අතරින් පෙත්සම් 41ක් මාර්ගගත ක්‍රමයට ගොනුකර ඇත.
ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 5කි.
ඒ අනුව ඊයේ (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට අධිකරණ ශාලා 502 ආරම්භ වූ අතර එහිදී 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ.
එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම අංක 501 ශාලාවට මාරු කළහ. ඉන් අනතුරුව පෙ.ව. 11.00 ට පමණ යළි පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරිණි.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා සවස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පෙරේදා දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු නම් කරනු ලැබූහ.ඒ.ජේ.ඒ. අබේනායක

