බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ සුපිරි ශතකයත්, දිනේෂ් චන්දිමාල් සහ යොවුන් ක්‍රීඩක සොනාල් දිනූෂ ගේ ඉනිම් දෙකත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට…

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ සුපිරි ශතකයත්, දිනේෂ් චන්දිමාල් සහ යොවුන් ක්‍රීඩක සොනාල් දිනූෂ ගේ ඉනිම් දෙකත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 308ක් ලබාගැනීමට සමත්විය.

පෙරේදා (25 දා) විවියන් රිචඩ්සන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇරයුම හේතුවෙන් පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පැතුම් නිශ්සංක සහ නිශාන් මධුෂ්ක පිටියට පිවිසිය ද තරගය ආරම්භ වී වැඩි වේලා යන්නට මත්තෙන් පළමු කඩුල්ල ලෙස පන්දු 6කට මුහුණදෙමින් ලකුණු 2ක් ලබාසිටි පැතුම් නිශ්සංකව ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කිමාරොච් ට හැකියාව ලැබිණි.

අනතුරුව නිශාන් මධුෂ්ක හා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 40ක යම් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වනවාත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 42දී ලකුණු 23ක් ලබා සිටි නිශාන් මධුෂ්ක අල්සාරි ජෝසප් ගේ පන්දුවක් හමුවේත්, දෙවැනි කඩුල්ලේ ඇවෑමෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් තමා මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යෑමත් හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 42කට කඩුලු 3ක් ලෙස සටහන්ව තිබිණි.

කෙසේ වුවද ඉන් පසු දිනේෂ් චන්දිමාල් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීම සඳහා සාර්ථක උත්සහායක යෙදෙන අයුරු දක්නට ලැබිණි. ලකුණු 42දී තෙවැනි කඩුල්ල දැවී යෑමෙන් පසු ලකුණු 68ක සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් සිටියදී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත්වූ අතර, ඒ වන විට දිනේෂ් පන්දු 67කින් වේගවත් ලකුණු 54ක් ලබා සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 110 දීම නැවත වරක් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුණු කරමින් 5වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අල්සාරි ජෝසප් සමත්විය.

ලකුණු 110කට කඩුලු 5ක් දැවී අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන එමින් පිතිකරණයේ යෙදුනු යොවුන් ක්‍රීඩක සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවක් ගොඩනැඟුවේය.

ඒ අනුව ලකුණු 209දී සොනාල් පිටියෙන් ඉවත්වන විට ඔහු ලකුණු 43ක් ලබාගැනීමට සමත්ව සිටියේය.

අනතුරුව ධනංජය සහ මිලාන් රත්නායක එක්ව ලකුණු 62ක සබඳතාවක් ගොඩනඟමින් සිටියදී ශ්‍රී ලංකා නැංගූරම බවට පත්වෙමින් පිතිකරණයේ යෙදුන් ධනංජය ද සිල්වාව ලකුණු 120ක පිටියෙන් ඉවත් කිරීමට ජැස්ටින් ග්‍රේවිෂ් සමත්විය.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිටි ධනංජය පන්දු 168කට මුහුණදෙමින් හතරේ පහර 17ක් සමගින් ලකුණු 120ක් ලබාගැනීමට සමත්ව සිටියේය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 273ට කඩුලු 7ක් ලෙස සටහන්ව තිබිණි.

අනතුරුව 8 වන කඩුල්ල ලකුණු 287දී මිලාන් රත්නායක ලකුණු 27කටත්, 9 වැන්න 303දී කසුන් රාජිත ලකුණු 8කටත් දවාගත් බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 71යි පන්දු 5ක් අවසානයේ ලකුණු 308කට සීමා කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී ජැස්ටින් ග්‍රේවිස් ලකුණු 39කට කඩුලු 3ක්, කිමාර් රොච් ලකුණු 32කට කඩුලු 2ක්, අල්සාරි ජෝසප් ලකුණු 70කට කඩුලු 2ක්, සමාර් ජෝසප් ලකුණු 79කට කඩුලු 2ක් සහ ජේඩ්න් සේලීෂ් ලකුණු 73කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 71යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 308යි.

ධනංජය ද සිල්වා ලකුණු 120, දිනේෂ් චන්දිමාල් ලකුණු 54, සොනාල් දිනූෂ ලකුණු 43, මිලාන් රත්නායක ලකුණු 27, නිශාන් මධුෂ්ක ලකුණු 23, ලහිරු කුමාර නොදැවී ලකුණු 12, කසුන් රාජිත ලකුණු 08.

සිසිර ඉන්ද්‍රජිත්