සංවත්සර උළෙල අද කෝට්ටේ මොනාච් ඉම්පීරියල්හිදී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නව පරිච්ඡේදයකට මුල පුරමින් යුග පෙරළියක ඇරැඹුම සනිටුහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 75 වසරක් පිරෙයි. “ජයග්‍රහණය සියදහසක් අභිමානවත් 75 වසරක් එක්වෙමු ජයගමු” යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 75 වන සංවත්සර උත්සවය ඒ…

සංවත්සර උළෙල අද කෝට්ටේ මොනාච් ඉම්පීරියල්හිදී

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නව පරිච්ඡේදයකට මුල පුරමින් යුග පෙරළියක ඇරැඹුම සනිටුහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 75 වසරක් පිරෙයි. “ජයග්‍රහණය සියදහසක් අභිමානවත් 75 වසරක් එක්වෙමු ජයගමු” යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 75 වන සංවත්සර උත්සවය ඒ අනුව අද (2දා) පස්වරු 2.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල්හිදී පක්‍ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන් මෙන්ම අනිකුත් දේශපාලන පක්‍ෂවල නායකයන් සහභාගි වීමට නියමිතය.

1951 සැප්තැම්බර් 2 වැනිදා, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයකට මුල පිරීය. ඒ එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, තමන් ඊට පෙර තමන් විසින්ම ගොඩනඟා තිබූ සිංහල මහා සභාවේ දේශපාලන අත්දැකීම් ද පදනම් කරගනිමින්, සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා නියෝජනය කරන නව දේශපාලන බලවේගයක් බිහි කරමිනි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් විය.

අත ලකුණින් ශ්‍රීලනිප ඇරැඹි බණ්ඩාරනායක මහතාගේ දේශපාලන දැක්මේ සුවිශේෂීත්වය වූයේ, රටේ බහුතර ජනතාව දේශපාලනයේ මධ්‍යයට ගෙන ඒමයි. තමන්ට හිමි වූ ප්‍රභූ පසුබිමෙන් ඔබ්බට ගොස් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය වටා ජනතාව ඒකරාශි කරමින්, එතෙක් දේශපාලන බලයේ සීමිත පරාසයක පැවැති ග්‍රාමීය ජනතාවගේ හඬ ජාතික දේශපාලනයේ ප්‍රබල බලවේගයක් බවට පත් කිරීමට ඔහු මුල පිරීය.

1956 මහ මැතිවරණ ජයග්‍රහණය එහි ප්‍රතිඵලය විය. එය බලයේ පක්ෂ මාරුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ගමන් මග වෙනස් කළ සන්ධිස්ථානයක් විය. දේශීය භාෂාව, සංස්කෘතිය සහ ජනතාවගේ සමාජ අපේක්ෂා රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රමුඛ තැනකට පැමිණියේ එම පරිවර්තනයත් සමගය. 1972 දී මෙරට අධිරාජ්‍යවාදී දේශපාලන බැම්මෙන් සහමුලින්ම නිදහස් කරමින් 1972 ජනරජයක් පිහිටු වූයේ ද ශ්‍රීලනිපය ද එක් වූ සමගි පෙරමුණ රජය සමයේදීය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නායකයන් යටතේ ශ්‍රීලනිප ගිය ගමන්මගේ වත්මන් නායකත්වය අද දරනුයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. එහි ලේකම් ධුරය දුමින්ද දිසානායක හොබවයි.අරුණ බෝගහවත්ත