කුණු ලොරි රියැදුරුත් සුපිරි ධනවතෙක් ප්‍රධාන සැකකරු පොලිසිය නොමග යවන ක්‍රම ඉගෙනගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේදී ඕ. අයි. සී. වැඩේට සෙට් වුණේ කුණු ලොරි රියැදුරුගේ ඉල්ලීමට අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට නීතියෙන් බේරී සැඟවී සිටීමට සහ…

කුණු ලොරි රියැදුරුත් සුපිරි ධනවතෙක්

ප්‍රධාන සැකකරු පොලිසිය නොමග යවන ක්‍රම ඉගෙනගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේදී

ඕ. අයි. සී. වැඩේට සෙට් වුණේ කුණු ලොරි රියැදුරුගේ ඉල්ලීමට

අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට නීතියෙන් බේරී සැඟවී සිටීමට සහ පලායෑමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා, නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවිය. සැකකාර ස්ථානාධිපතිවරයා මීට පෙර මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ලෙසද කටයුතු කළ නිලධාරියෙකි.

භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට පහසුකම් සැපයීම සහ ඔහුව විවිධ ස්ථානවලට වාහනවලින් රැගෙන යෑමට උපකාර කිරීමේ චෝදනාව මත නගර සභා කුණු ලොරියක රියැදුරෙකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම කුණු ලොරියේ රියැදුරු කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයාගේ සමීප මිතුරෙකි. කුණු ලොරි රියැදුරුගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයා මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට කුණු ලොරි රියැදුරු මහා ධනවතෙකි. ඔහුට නවීන පන්නයේ නිවසක්, මෝටර් රථයක්, යතුරුපැදි කීපයක්, කැබ් රථයක් ඇතුළු වාහන කීපයක් ඇති බව පොලිසිය පවසයි.

රැකියාවට අමතරව මුදල් පොලියට දීමේ ව්‍යාපාරය ද ඔහු කරගෙන ගොස් ඇත.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කුණු ලොරි රියැදුරුගේ බිරිඳගෙන් ද මීට සතියකට පමණ උඩදී රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

භෞතචිකිත්සකවරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනකු පැය 48ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්නකර ගෙන යයි.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියෙන් බේරීමට, පොලිසිය නොමග යැවීමට නොයකුත් ක්‍රමෝපායන් පාවිච්චි කර ඇති බව පොලිසිය පවසයි. මොහු සැඟවී සිටි කාලසීමාව තුළදී දුරකථන භාවිතය ද ඉතාම සූක්‍ෂම ලෙස කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ ද ඔහු විවිධ ආරක්‍ෂක ක්‍රමෝපායන් අනුගමනය කිරීම නිසා බව විමර්ශන නිලධාරීහු පවසති.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පොලිසියෙන් බේරීමට මෙම ආරක්‍ෂිත ක්‍රමෝපායන් පිළිබඳව තමන් පුළුල් දැනුමක් ලබාගත්තේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි සිටි අපරාධකාරයන්ගෙන් බවයි.

වංචා රැසක් සම්බන්ධයෙන් මීට පෙරද මෙම සැකකරු අවස්ථා ගණනාවකදී බන්ධනාගාරගතව සිට ඇත.

භෞතචිකිත්සකවරියට විවාහ පොරොන්දු දී ඇය කැනඩාවට රැගෙන යන බව පවසා ඇගෙන් රුපියල් කෝටි එකහමාරක මුදලක් මොහු ලබාගෙන තිබිණි. පසුව ඇය නුවරඑළියේ මහල් නිවසකදී ඝාතනය කර ඇගේ සිරුර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

සැකකරු, අනියම් බිරිඳ, දරුවා සමග ඉන්දියාවට පලායෑමට සූදානමින් යාපනය ප්‍රදේශය වෙත යමින් සිටියදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා, සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු