ICC ශූරයන්ගේ කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීම සම්බන්ධයෙන් රජයට දොස් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබා තිබෙනවා. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ තරගාවලියේ සත්කාරකත්වය පමණක් නොව තරගාවලියට සහභාගී වීමේ අවස්ථාවද රජයේ වැරදි තී…
ICC ශූරයන්ගේ කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීම සම්බන්ධයෙන් රජයට දොස් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබා තිබෙනවා. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ තරගාවලියේ සත්කාරකත්වය පමණක් නොව තරගාවලියට සහභාගී වීමේ අවස්ථාවද රජයේ වැරදි තීන්දු නිසා ශ්‍රී ලංකාවට අහිමිවන බවයි. දේශපාලනඥයින්, පාලකයින් සහ ආයතන තම අභිමතාර්ථ, බලය සහ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රීඩාවට ඉහළින් තැබූ විට එහි වගකීම දැරීමට සිදුවන්නේ රට වෙනුවෙන් කැපවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. සත්කාරකත්වය අහිමි වීම හුදෙක් තරගාවලියක් අහිමි වීමක් පමණක් නොව, ඉපැයීම්, ජාත්‍යන්තර අත්දැකීම් සහ නැගී එන ක්‍රීඩිකාවන්ගේ අනාගත මාවත අඳුරු වීමක් ද බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දේශපාලනය පැවතිය යුත්තේ ක්‍රීඩාව ශක්තිමත් කිරීමට සහ ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමට පමණක් බවත්, පාලනය හෝ බලය තහවුරු කරගැනීමට ක්‍රීඩාවට අතපෙවීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ අනුව පෞද්ගලික මතවාද පැත්තක තබා ශ්‍රී ලංකාව සහ ක්‍රීඩකයින් පළමුව තබා කටයුතු කරන ලෙසයි ඔහු අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ICC ශූරයන්ගේ කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි මුලින් සැලසුම් කර තිබුණේ. දැන් ශ්‍රී ලංකාවට එහි සත්කාරකත්වය අහිමි වී ඇත්තේ අලුතින් පත් කෙරුණු ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළි නොගැනීම හේතුවෙන්. තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන පහේ පසුවන රටවලට සහ සත්කාරක රටටයි. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල හත් වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව තරගාවලිය සත්කාරකත්වය නොලැබුණහොත් ශ්‍රී ලංකාවට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද හිමිවන්නේ නැහැ. මේ අතර, ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග තවදුරටත් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියා.

