ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩිසල් මිල ගණන් පහත දැමීම ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසනවා. ඒ අනුව ඉදිරියේදි තවදුරටත් මිල පහත දැමිය යුතු බවයි ඔවුන් පැවසුවේ. මේ අතර වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ප්‍රමාණවත් පරිදි බස් ගාස්තුව වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය…

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩිසල් මිල ගණන් පහත දැමීම ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසනවා. ඒ අනුව ඉදිරියේදි තවදුරටත් මිල පහත දැමිය යුතු බවයි ඔවුන් පැවසුවේ.

මේ අතර වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ප්‍රමාණවත් පරිදි බස් ගාස්තුව වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණද බස් ගාස්තුව 15%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි. අවම බස් ගාස්තුවද රුපියල් 35 ත් 40ත් අතර මිලකින් වැඩි වියයුතු බවද ඔහු පැවසුවා.

මේ අතර ඩීසල් මිළ රුපියල් 25කින් අඩු වුවද පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීමේ කිසිඳු හැකියාවක් නැතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා. එහි සභාපති එන් එම් කේ හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ වාහන අමතර කොටස් මිල හා සෙසු සේවාවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. තම කර්මාන්තය පවත්වාගෙන යාමට රජය විසින් යම් සහනයක් ලබා දෙන්නේ නම් ගාස්තු අඩුකිරීම පිළිබඳ සිතා බැලිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩිසල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමුණු අතර එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ද පහළ දැමුණා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එහෙත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැහැ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495 කටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 478කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 285කටත් තවදුරටත් අළෙවි කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.