2026 ජුනි මස 27 වැනිදා සෙනසුරාදා මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලකයන් විසින් කොතෙක් දුරට ගණිකා වෘත්තියේ යොදවා ගෙන ඇත්දැයි මැනිය හැකි සිදුවීම් අපට අසන්නට ලැබේ. පොලිස් අත්අඩංගුවේ සිටින නමගිය අපරාධකරුවන්ට ලංසු තබන්නට තරම් මේ රටේ ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ සහචරයන් බලසම්පන්න…
2026 ජුනි මස 27 වැනිදා සෙනසුරාදා
මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලකයන් විසින් කොතෙක් දුරට ගණිකා වෘත්තියේ යොදවා ගෙන ඇත්දැයි මැනිය හැකි සිදුවීම් අපට අසන්නට ලැබේ.
පොලිස් අත්අඩංගුවේ සිටින නමගිය අපරාධකරුවන්ට ලංසු තබන්නට තරම් මේ රටේ ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ සහචරයන් බලසම්පන්න වී ඇත. එසේ සිදුකර එකී සියලු කුපාඩිකම් දේශපාලන සළුවෙන් වසා දමන්නට ද ඔවුන්ට හැකියාව ලැබී ඇත. එම සිදුවීම සම්බන්ධයන් අධිකරණ ක්‍රියාවලියක් දියත් වෙමින් පවතින පසුබිමක ඒ පිළිබඳව ඉදිරියේදී චෝදනාවල සත්‍ය අසත්‍යතාව අනාවරණය වන තුරු බලා සිටිමු.
මෙම සිදුවීම වාර්තාවීමත් සමග කලකට පසුව පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සුපිරි කතාවක් කළේය. ඔහුගේ සමස්ත කතාව පුරාම විහිදී තිබුණේ අපරාධ රාජ්‍යයක අඳුරු සෙවණැලි ය. මේ රටේ නීතිගරුක සියලු රටවැසියන් ජනාධිපතිවරයාගේ එම අදහස් සමග එකඟවනවාට සැකයක් නැත. කුමන තත්ත්වයක් යටතේ වත් රාජ්‍යයක් තුළ නීතිය අතට ගත් බලයලත් අපරාධකරුවන් හෝ කොල්ලකරුවන් නොසිටිය යුතු ය. එවැන්නන් සිටින්නේ නම් හා තවමත් සිටී නම් ඔවුන් කුමන තරාතිරමක වුවත් නීතිය ඉදිරියට රැගෙන විත් සමාජය ඉදිරියේ ඔවුන්ගේ හෙලුව නිරාවරණය කළ යුතු ය. එහිදී අපරාධකරුවන් ආණ්ඩු පක්ෂයේ ද, විපක්ෂයේ ද කියා බෙදා වෙන් නොකළ යුතු බව ද අවධාරණය කරන්නෙමු.
දැන් අපි අපරාධ රාජ්‍යයෙන් මිදී රජයේ අපරාධයට පිවිසෙමු. මැද පෙරදිග ඇවිළෙමින් තිබුණු යුද ගිනි දැල් නිමාවන ලකුණු පහළ වෙත්ම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ වැටෙන්නට පටන් ගෙන ඇත. ඒත් සමගම පකිස්තානය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් ම ඉන්ධන මිල ගණන් පහත දමමින් එහි වාසිය ස්වකීය රටවැසියන් වෙත ලබාදී ඇත.
ඒ රටවල් එහෙම කළත් අපට එසේ කළ නොහැක. මන්ද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යන සෑම අවස්ථාවක දීම අපේ රටේ මාස ගණනක බොරතෙල් සංචිතයක් පවතින්නේ ය. එහෙත් අවාසනාවක මහිමය නම් ලෝක තෙල් මිල වැඩිවනවිට අපේ තෙල් ටැංකි බින්දුවට හිඳී පැවතීමයි. එය අපේ කරුමය ලෙස සිතා හිත හදාගන්නට පුරුදු විය යුතුය. මන්ද රටේ භාණ්ඩාගාරය පිරී පවතිද්දී රට්ටු බඩගින්නේ මළත් සැපය.
අධික ඉන්ධන මිල හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ක්‍ෂේත්‍ර ගණනාවක් මේ වනවිට ගත කරන්නේ සංක්‍රාන්ති සමයකි. විශේෂයෙන් ම මහා පරිමාණ කර්මාන්ත ශාලා බොහෝමයක් ඉන්ධන හා විදුලි මිල ගණන්වල අසාමාන්‍ය ඉහළ යෑම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටී. දස දහස් ගණනකට රැකියා සපයන මෙම කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩා වැටීම රටේ අනාගතයට ඉතා අශුභවාදීව බලපාන බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් අවශ්‍ය නැත.
එමෙන් ම හෙට අනිද්දා වනවිට බස් ගාස්තු ඉහළ දැමීමට බස් සංගම් තීරණය කර ඇත. බස් හිමියන්ගේ ඉල්ලීම ද යුක්ති සහගතය. වැඩි මිලට තෙල් ගසාගෙන අඩු මිලට මගීන් රැගෙන යෑමට ඔවුන් මානසික රෝගීන් නොවේ.
අනෙක් අතට ධීවරයන් මුහුදු යෑම සීමා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය මිල ගණන් අහස උසට නැඟ තිබේ. වෙනදාට මාස ගණන් මුහුදේ කරක් ගසමින් මසුන් ඇල්ලූ ධීවර බෝට්ටු මේ වනවිට සති කිහිපයක් තුළ ආපසු ගොඩබිමට පැමිණීමට පටන්ගෙන ඇත. හේතුව අධික ඉන්ධන පිරිවැයයි. ඒ හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩු වී මිල ගණන් ඉහළ ගොස් ඇත.
මෙකී නොකී සියලු ක්‍ෂේත්‍රයක්ම ඉන්ධන මිල හමුවේඅභියෝග රැසකට මුහුණ පා සිටී. එහෙත් රජයට වගේ වගක් නැත. ඉන්ධන පිළිබඳව රජයට කිසිදු ගැටලුවක් නැතුවා මෙනි.
සැබෑය, ප්‍රශ්නය තිබෙන්නේ රට වැසියන්ටය. කෙසේ වෙතත් මෙම අර්බුදය දෙස මානුෂීයව සලකා බලා වහාම ඉන්ධන මිල පහළ දමා ජනතාවට සහන දීමට රජය කටයුතු නොකළහොත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටී විශාල අර්බුදයකට යෑම වැළැක්විය නොහැක. එවැනි බැරෑරුම් අභියෝගයක් භාර ගැනීමට තරම් අඥාන පිරිසක් රජය තුළ ඇතැයි අපි නොසිතමු.

