නොදන්වා ආවට පළිගන්න කළ වැඩක් – පොලිසියට සැක කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වී සිටි තරුණියක පැහැරගෙන යෑමට උත්සාහ කළ එම තරුණියගේ පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාරාහේන්පිට සහ කුරුඳුවත්ත පොලිස් ස්ථාන මගින් ඊයේ (30 දා) කණ්ඩායම් දෙකක්…

නොදන්වා ආවට පළිගන්න කළ වැඩක් – පොලිසියට සැක

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වී සිටි තරුණියක පැහැරගෙන යෑමට උත්සාහ කළ එම තරුණියගේ පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාරාහේන්පිට සහ කුරුඳුවත්ත පොලිස් ස්ථාන මගින් ඊයේ (30 දා) කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර තිබුණි.

පෙරේදා (29 දා) සවස 1.30 ට පමණ මෝටර් රථයකින් තරුණියක පැහැරගෙන යන බවට නාරාහේන්පිට පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට උත්සාහ කර තිබේ. නමුත් එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇත. පොලිසිය නොනවත්වා ධාවනය කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර නවතාගෙන ඇතත්, එහි සිටි තරුණයා මෝටර් රථය දමා පලාගොස් තිබේ.

පොලිසිය මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සිටි තරුණිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැහැර ගත් බව කියන තරුණිය බවට හඳුනාගෙන ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවයි. ඔහු සහ තරුණිය වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගිවීම සඳහා තරුණිය සිය පවුලේ ඥාතීන් සමග බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ ඇත. ඇය සිය පෙම්වතාට නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ ඇති බැවින් ඇය පැහැර ගැනීම සිදුකර ඇති ද යන්න පොලිසිය සැක කරයි.

තරුණිය පැහැර ගැනීමට භාවිත කළ මෝටර් රථය පලාගිය තරුණයාගේ බවත්, එම රථය තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. තරුණිය පැහැරගත් බවට පොලිසිය දැනුවත් කර ඇත්තේ ද එම පියා විසින් බව ද අනාවරණය වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.චමින්ද සිල්වා – නෝමන් පලිහවඩන