මාධ්‍යවේදියෙක්, චිත්‍රපට මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක්, ඡායාරූප ශිල්පියෙක්. ද්විභාෂා නිවේදකයෙක් වගේම කලාවේද විවිධ ඉසව් ඔස්සේ දිගු ගමනක් ගිය මාධ්‍යවේදී උපුල් නිශාන්තගේ කලාවේ හා මාධ්‍යයේ හතලිස් වසරක මතකාවර්ජනය නිමිත්තෙන් පවත්වනු ලබන ‘හිත ලිහන හතළිහ’ ප්‍රසංගය 31 වැනිදා සවස 6.30 ට මරදාන…
මාධ්‍යවේදියෙක්, චිත්‍රපට මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක්, ඡායාරූප ශිල්පියෙක්. ද්විභාෂා නිවේදකයෙක් වගේම කලාවේද විවිධ ඉසව් ඔස්සේ දිගු ගමනක් ගිය මාධ්‍යවේදී උපුල් නිශාන්තගේ කලාවේ හා මාධ්‍යයේ හතලිස් වසරක මතකාවර්ජනය නිමිත්තෙන් පවත්වනු ලබන ‘හිත ලිහන හතළිහ’ ප්‍රසංගය 31 වැනිදා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. 31 වැනිදාට යෙදෙන උපුල්ගේ 59 වැනි උපන්දිනය නිමිත්තෙන් හිත ලිහන හතලිහ ප්‍රසංගය පැවැත්වේ.
මගේ පෙර පරම්පරාවේ චිත්‍රපට නිළි උදුලා දාබරේ මාගේ අම්මාගේ අක්කා. පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. මගේ සංගීත ගුරුවරයා වුණේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතිං පුංචි කාලේ නළු නිළියන් එක්ක ඉඳලා දැකලා සම්මාන උළෙලවලට ගිහිල්ලා ඊට පසුව රඟපාන්න ආසා හිතිලා වේදිකාවට එනවා.
මම නාට්‍ය පනහක විතර වැඩකළා. ගීත ගායනා කළා. ඒ කාලේ ගායකයෙක් වෙන්නත් ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි ඒ හීනය සැබෑ කරගන්න බැරිවුණා. 2003 සඳ අහිංසකයි කියලා මගේ නමින් ගීත පහක සීඩී පටයක් නිකුත් කළා. ඒවා මගේ ආසාවට කරපු දේවල්.
නිහාල්සිංහ මහත්මයාගේ කැමරා යුනිට් එකෙන් තමයි මම කැමරා වැඩ ඉගෙනගත්තේ. ඔය අතරේ මම චිත්‍රපටවල නිශ්චල ඡායාරූප ශිල්පියෙක් සහ සහාය කැමරා ශිල්පියෙක් විදිහට වසර ගණනාවක් වැඩකරලා තියෙනවා. චිත්‍රපට විස්සක විතර රඟපාලා තියෙනවා. සිංහල සහ ඉංග්‍රීසි නිවේදකයෙක් විදිහටත් ඉරුදින පුවත්පතේ පවන කලා අතිරේකයේ වගේම ඉරිදා පුවත්පතේ ඡායාරූප ශිල්පියෙක් වගේම මාධ්‍යවේදියෙක් විදිහටත් කටයුතු කළා. මේ වෙනකොටත් මේ රටේ පවතින පුවත්පත්වලට මට අවස්ථාව ලැබුණ විදිහට අතිරේකවල මුල් පිටුවලට පින්තූර වගේම ලිපි සපයනවා. මාධ්‍යවේදියෙක් විදිහට ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඉතිං මට ඕනෑවුණා සියල්ල එකතු කරලා මොකක් හරි කරන්න. ඒ අනුව තමයි හිත ලිහන හතළිහ සූදානම් කරන්නේ.
මට මේ ගමන එන්න උදව් කළ සහ උගන්වපු ප්‍රවීණයන් පිරිසකට එදින මම සම්මාන ප්‍රදානය කරනවා. මගේ උපන්දිනයත් එදාට තියෙන්නේ. අමන්ද්‍යා උත්පලී, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි මගෙත් එක්ක සහාය ගායනයෙන් එකතු වෙනවා. ඊට අමතරව චන්න විජේවර්ධනයන්ගේ සහ චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායම් නර්තනයෙන් එකතුවෙනවා. ගීතවලට සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දේශානි නෙහාරා, නිලූෂි පවන්‍යා, අභිලාෂි සන්තුෂ්කි නර්තනයෙන් එකතුවෙනවා. චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහ ආචාර්ය නුවන් නයනජිත් මා ගැන දෙසුම් දෙකක් පවත්වනවා. මෙහි නිවේදන කටයුතු සිදුකරන්නේ චමින්ද ගුණරත්න සහ පාරමී රණසිංහ. එල්ෆින්ස්ටන් රඟහලේ 31 වැනිදා සවස 6.30 ට තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. හිත ලිහන හතළිහ විචිත්‍රවත් ප්‍රසංගයක් කරන්න තමයි මගේ සූදානම යැයි මාධ්‍යවේදී උපුල් නිශාන්ත මහතා ‘සිනමා කලා’ වෙත පැවැසීය.












