ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය හෙටට (29 දා) යෙදී තිබේ. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට බුදු සසුන පිහිට…

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය හෙටට (29 දා) යෙදී තිබේ.

පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට බුදු සසුන පිහිටුවීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදුරැස් විහිදීම, මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් පොසොන් පුන් පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබෙයි.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ පොසොන් පොහොය දිනක ය. ජුනි මස 26 වැනි දින සිට ජූලි 02 වැනිදා දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. ‘අනුබුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා’ යන්න තේමාව බව ජාතික පොසොන් කමිටුව සඳහන් කරයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට වසර 2334ක් ගතවීම නිමිති කරගෙන, උන්වහන්සේට කෘතගුණ සැලකීම සඳහා ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අටමස්ථානය ප්‍රමුඛ අනුරාධපුර පුදබිම් කේන්ද්‍ර කරගනිමින් මෙවරත් ජාතික පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු කරන බව උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ලංකාරාම විහාරාධිකාරී රැළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

චතුර පමුණුව