මිනිසුන් පමණක් නොව සතා සීපාවත් පිපාසෙන්! වාරි ජලාශ 73 සමස්ත ජල ධාරිතාව සියයට 36 දක්වා අඩුවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ඊයේ (24 දා) පැවසීය. කෙසේ වෙතත් දැදුරුඔය, රාජාංගණය වැනි ජලාශවල ජල ධාරිතාව සියයට 75 ක පමණ පවතින බවත් සේනානාය…
මිනිසුන් පමණක් නොව සතා සීපාවත් පිපාසෙන්!
වාරි ජලාශ 73 සමස්ත ජල ධාරිතාව සියයට 36 දක්වා අඩුවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ඊයේ (24 දා) පැවසීය.
කෙසේ වෙතත් දැදුරුඔය, රාජාංගණය වැනි ජලාශවල ජල ධාරිතාව සියයට 75 ක පමණ පවතින බවත් සේනානායක සමුද්‍රය සියයට 20 ක්, හම්බන්තොට මුරුතවෙල ජලාශය සියයට 02 ක් වැනි අගයක පවතින බවත් කී ඒ මහතා සියලුම ජලාශ සැලකිල්ලට ගෙන සමස්ත ජල ධාරිතාව ගණනය කරන බවත් කීය.
හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල ජලය අඩුවී මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවාට පවා ජලය සපයා ගැනීමේ අපහසුතාවයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වන බවද ඒ මහතා කීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව කී ඒ මහතා ඊයේ (24 දා) පෙරවරු 8.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස නිල්වලා ගඟ ආශ්‍රිතව මිලිමීටර් 30 ක වර්ෂාපතනයක්, කුරුණෑගල මිලිමීටර් 25 ක්, කළුගඟ ආශ්‍රිතව මිලිමීටර් 20 ක පමණ ද වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට එම ප්‍රතිශතයන්ට අඩුවෙන් වර්ෂාව ලැබී තිබූ බවද ඒ මහතා කීය. පානීය ජලය සඳහා සීමාවන් පනවා නොමැති බවත් වෙනත් කටයුතු සඳහා සීමාවන් පැනවීමට සිදුවනු ඇති බවත් ඒ මහතා කීය.
මේ අතර ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා කියා සිටියේ යල කන්නයට අවශ්‍ය ජලය මුදාහැරීම සඳහා ඔක්තෝබර් 01 ත් 15 ත් අතර කාලය තුළ බිම් සකස් කර සූදානම් වන ලෙසයි.චමින්ද සිල්වා සහ සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමළය












