ඩුබායි හි සුපිරි දිවියක් ගෙවමින් ලංකාවට කුඩු පොම්ප කරලා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඩුබායි පොලිසිය මගින් සිදුකළ මෙහෙයුමකදී එරට සුපිරි හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ දරුණු ගණයේ අපරාධකාරයකු වන වැල්ලේ සාරංග ඇතුළු අපරාධකාරයන…

ඩුබායි හි සුපිරි දිවියක් ගෙවමින් ලංකාවට කුඩු පොම්ප කරලා

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඩුබායි පොලිසිය මගින් සිදුකළ මෙහෙයුමකදී එරට සුපිරි හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ දරුණු ගණයේ අපරාධකාරයකු වන වැල්ලේ සාරංග ඇතුළු අපරාධකාරයන් නවදෙනා ඉදිරි සති කීපය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංගට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පාතාල නායක ලලිත් කන්නංගර අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් ඩුබායි වෙත ගොස් එරට පොලිසිය සමග ඒකාබද්ධ වී මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

එම මෙහෙයුම සඳහා එක්ව සිටියදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඩුබායි පොලිසියේ නිලධාරීන් දැනුවත් කරමින් වැල්ලේ සාරංග නමැති පාතාල නායකයා පිළිබඳ සියලු තොරතුරු ලබාදී ඇත.

ඒ අනුව ඩුබායි පොලිසිය සති කීපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් පසු ඩුබායි හෝටලයක සැඟවී සිටි වැල්ලේ සාරංග ඇතුළු අපරාධකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම අපරාධකාරයන් සතුව කොකේන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ද තිබී ඇත.

වැල්ලේ සාරංග නමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ සුඛෝපභෝගී හෝටල්වල සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවී තිබේ. මොහු ඉරානය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන රටවල්වල ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය තොග ට්‍රෝලර් යාත්‍රාවල පටවා ශ්‍රී ලංකාවට යැවීමේ ජාවාරමේ ද නිරතවූ බවට පොලිසිය පවසයි.

එක් අවස්ථාවකදී මොහු මත්ද්‍රව්‍ය පැටවූ බෝට්ටුවක මිනි වුෂි වර්ගයේ ගිනිඅවි ඇතුළු නවීන පන්නයේ ආයුධ තොගයක් පටවා ශ්‍රී ලංකාවට එවා තිබූ අතර එය නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

මෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ආරවුලක් සම්බන්ධයෙන් ඉවෝනි සුදර්ශනී ප්‍රනාන්දු නමැති කාන්තාවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැල්ලේ සාරංගට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව මෝදර මට්ටක්කුලිය, කොටහේන ඇතුළු ප්‍රදේශ ගණනාවකදී මිනිස් ඝාතන කීපයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ.

ඉකුත් 2022 වර්ෂයේදී රුසියාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග මොහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාස 06 කට සහ ත්‍රිරෝද රථ 06 කට පහරදී බරපතළ හානි සිදුකර තවත් පිරිසකට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

ඩුබායි පොලිසිය භාරයේ සිටින වැල්ලේ සාරංග නමැති අපරාධකරු ඇතුළු අපරාධකරුවන් 09 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට එරට පොලිසිය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.හේමන්ත රන්දුණු