2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන කේප් වර්ඩ් කණ්ඩායම සමග පැවති තරගයේදී උණුසුම් සටනකින් අනතුරුවයි. තරගයේ අතිරේක කාලයේදී වාර්තා වූ ගෝලයක් හේතුවෙන් කේප් වර්…
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන කේප් වර්ඩ් කණ්ඩායම සමග පැවති තරගයේදී උණුසුම් සටනකින් අනතුරුවයි. තරගයේ අතිරේක කාලයේදී වාර්තා වූ ගෝලයක් හේතුවෙන් කේප් වර්ඩ් කණ්ඩායම පරදවා ආර්ජන්ටිනාව මෙම තරගය ජයගත්තේ ගෝල 3-2ක් ලෙසයි. මියාමි ක්‍රීඩාංගණයේ රැස්ව සිටි 64,000කට අධික ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරමින් සිය පළමු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කල කේප් වර්ඩ් කණ්ඩායම ප්‍රබල ආර්ජන්ටිනාව හමුවේ සුපිරි සටනක නිරත වුණේ ලොව පුරා පාපන්දු ලෝලීන් මවිතයට පත් කරමින්. තරගයේ 29 වැනි මිනිත්තුවේදී සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී මෙවර තරගාවලියේ තම 7 වැනි ගෝලය වාර්තා කරමින් මෙම තරගයේ ආර්ජන්ටිනාව පෙරමුණට ගෙන ඒමට සමත් වුණා. කේප් වර්ඩ් කණ්ඩායමේ ඩෙරෝයි ඩුවාර්ටේ තරගයේ 59 වන මිනිත්තුවේදී සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලේ ලකුණු තත්ත්වය 1-1ක් ලෙස සම කරමින්. නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 1 බැගින් ලබා සිටි බැවින් තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ කෙරුණා. එහිදී ආර්ජන්ටිනාවේ ලිසැන්ඩ්‍රෝ මාර්ටිනස් තරගයේ 92වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ආර්ජන්ටිනාව නැවතත් 2-1ක් ලෙස පෙරමුණට ගෙන එනු ලැබුවා. කේප් වර්ඩ් කණ්ඩායමේ සිඩ්නි ලෝපෙස් 103 වැනි මිනිත්තුවේදී ලබාගත් අලංකාර ගෝලය හේතුවෙන් නැවතත් ගෝල 2-2ක් ලෙස තරගය සම මට්ටමකට පත්වුණේ පාපන්දු ලෝලීන්ට අමතක නොවන තරගයක මතක ඉතිරි කරමින්. තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය සටහන් වූයේ අතිරේක කාලයේ දෙවැනි භාගයේදීයි. ලියොනල් මෙසී එල්ල කළ කෝනර් පහරක් ආර්ජන්ටිනා ක්‍රීඩක ක්‍රිස්ටියන් රොමේරෝගේ හිසෙහි වැදීල කේප් වර්ඩ් කණ්ඩායමේ ඩිනී බෝර්ජස්ගේ අතේ වැදී දැල තුළට යාම හේතුවෙන් මෙම උණුසුම් පාපන්දු සටන නිමාවුණේ ආර්ජන්ටිනාවට ගෝල 3-2 ක ජයක් අත්කර දෙමින්. මේ අතර 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊජීප්තුව ඊයේ සමත් වුණා. ඒ එම තරගාවලියේ 32 දෙනාගේ වටයේ පැවැති තීරණාත්මක තරගයෙන් ඔස්ටේ්‍රලියාවට පරාජයට පත් කරමින්. අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු වුණා. 13 වැනි මිනිත්තුවේදී ඊජිප්තුව පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත් අතර, දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ඔස්ටේ්‍රලියාව ගෝලයක් වාර්තා කරමින් ලකුණු සම කර ගැනීමට සමත් වුණා. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තේරීම සිදු කෙරුණේ දඬුවම් පහර මගින්. එහිදී ගෝල 4-2ක් ලෙස ඊජිප්තුව තරගයේ ජය හිමිකර ගත්තා. ඊජිප්තුව එලෙස පාපන්දු ලෝක කුසලානයක අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ 1934 වසරෙන් පසු ප්‍රථම වරටයි. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඊජිප්තු කණ්ඩායමේ පුහුණකරු හොසාම් හසන් පැවසුවේ ”මගේ හදවත සහ ආත්මය තිබෙන්නේ පලස්තීන ජනතාව සමඟයි. මම ඔවුන්ට ස්තූතිවන්ත වන අතර මේ ජයග්‍රහණය ඔවුන් වෙනුවෙන් කැප කරනවා. සමස්ත අරාබි වැසියන් ආඩම්බරයට පත් කිරීමට අපට හැකි වුණා. මට වුවමනා කළේ මේ හොඳ මිනිසුන් වෙනුවෙන් ජයග්‍රහණය කරන්නයි.” හොසාම් හසන් යනු ඊජිප්තු පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වුවත්, ඔහුගේ පුහුණුකාරිත්වය මීට පෙර දැඩි විවේචනයට ලක්ව තිබුණා. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඊජිප්තු කණ්ඩායම, ලබන අඟහරුවාදා ඇට්ලන්ටා හිදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.

