2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනාව කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රා…

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනාව කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය සැප්තැම්බර් 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළා. 2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින්  කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට  එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.