චූලානන්ද සමරනායක, හෙතෙම විසල් මිනිසෙකි. එහෙයින්ම එතෙක් මෙතෙක් ඔහු ආ ගමන් මගෙහි මෙහෙවර අගයනු වස් ‘විසල් මිනිසෙක් – චූල කතාවක්’ යන මැයෙන් 2026.07.04 වැනි දින පස්වරු 2.00 ට හොරණ – කඳන වාසනා උත්සව ශාලාවේදී චූලානන්ද සමරනායක මෙහෙවර ඇගයුමට ලක් කෙරේ. විදුහල්පතිවරයකුට හා හෙඳ නිලධාරිනියකට…
චූලානන්ද සමරනායක, හෙතෙම විසල් මිනිසෙකි. එහෙයින්ම එතෙක් මෙතෙක් ඔහු ආ ගමන් මගෙහි මෙහෙවර අගයනු වස් ‘විසල් මිනිසෙක් – චූල කතාවක්’ යන මැයෙන් 2026.07.04 වැනි දින පස්වරු 2.00 ට හොරණ – කඳන වාසනා උත්සව ශාලාවේදී චූලානන්ද සමරනායක මෙහෙවර ඇගයුමට ලක් කෙරේ.
විදුහල්පතිවරයකුට හා හෙඳ නිලධාරිනියකට දාව රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලබා කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක් වූ රැටියල හැදී වැඩුණු චූලානන්ද සමරනායක කොබවක ශ්‍රී සිදුහත් කනිෂ්ඨ විද්‍යාලයෙන් හා හොරණ තක්ෂිලා මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. විශ්වවිද්‍යාල ජීවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයකු බවට පත් වන චූලානන්ද සමරනායකයන් ශිෂ්‍ය දේශපාලනය හේතුවෙන් තුන් වරක් සිරගත වූ අතර තෙවැනි සිරගත වීම චූලානන්දයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් විය. සාහිත්‍යම වටපිටාවක හැදී වැඩුණු ඔහු ශිෂ්‍ය දේශපාලනයේ නියුතු කාලයේ සටන් පාඨ, කවි, ගී, නිසඳැස් නිර්මානකරණයේ යෙදිණි. හෙතෙම තෙවන සිරගත වීමෙන් පසු විධිමත් ලෙස ලේඛන ජීවිතයට ඇතුල් විය.
ප්‍රවීණ සාහිත්‍යවේදී, ලේඛක බටුවන්ගල රාහුල හිමි, චූලානන්ද සමරනායකයන් කලාව හා සාහිත්‍ය වෙනුවෙන් කළ මෙහෙය හා ඔහු ආ ගමන් මග ගැන කීවේ මෙලෙසය.
කෙනකු නමින් දැනගැනීම සහ ඇසුරට ලැබීම කියන්නේ දෙකක්. චූල අයියා කියා අප ලෙන්ගතුව ඇසුරු කරන චූලානන්ද සමරනායක කියන පුද්ගලයාව මට හඳුනගන්න ලැබෙන්නේ 2014 අවුරුද්දෙ අග භාගයේ කළුතර දිස්ත්‍රික් ලේඛක සංගමයට සම්බන්ධවීමෙන් පසුවයි. එවක එම සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කළ ප්‍රවීණ ලේඛක දයාරත්න දළවැල්ල මහතාත්, ප්‍රවීණ ලේඛක ලලිත් පුෂ්පකුමාර මහතාත් තමයි චූලානන්ද සමරනායක මහතා ලේඛක සංවිධානයට සම්බන්ධ කරගන්නේ. අපට පෞද්ගලික මිතුරන් වීමට අවස්ථාව සැලසෙන තවත් සිදුවීමක් වුණා. ඒ තමයි ලන්ඩනයේ අයිත්මාතොව් ඇකඩමිය විසින් පිරිනමන චිංගිස් අයිත්මාතොව් සම්මානයෙන් පුද ලබන ඔහු එම උත්සවයට ලන්ඩනයට ගොස් ස්කොට්ලන්තයේ ඇවිදින්න යනවා. මේ වෙලාවේ චූල අයියා මට කතාකරල ඇහුවා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ දවස් කීපයක් නතරවෙන්න තියෙනවා දන්න තැනක් තියෙනවාද කියලා මම කඹුරාවල රේවත නායක හාමුදුරුවන්ට කතා කරලා ඒ පංසල ලෑස්ති කරලා දුන්නා. එතනින් පසුව අපි තවත් සමීප වෙනවා. ලේඛක සංවිධානයේ අපි එකට වැඩකරන්න පටන්ගන්නවා.
ඒ හඳුනා ගැනීමට පෙර ඔහු පිළිබඳ දැනගෙන හිටියද?
චූලානන්ද සමරනායක කියන පරිවර්ථකයා, ලේඛකයා පිළිබඳව අප දැනගෙන හිටියේ ඔහුගේ නිර්මාණ හරහායි. ඔහුගේ පළමු කෘතිය ජනගත කෙරෙන්නේ 2001 ‘සමුගනිමි ගුල්සාරි’ කියන නමින්. මගේ පළමු නිර්මාණ සංග්‍රහය 2002 වසරේ. ඒ නිසා ඔහුගේ පළමු කෘතියත් මගේ පළමු කෘතියත් අතර පරතරය වසරක් පමණ කාලයක්. ඒත් ඇත්තටම චූලාන්ද සමරනායක ගේ පොතක් මා කියවන්නේ 2012 විතර. පොතෙන් හඳුනගත්ත ඔහුව අපට වැඩි කාලයක් යන්නට පෙර සමීපව වැඩකරන්න ලැබෙන චරිතයක් බවටත් පත් වෙනවා. ඔහු අපත් සමග වැඩකරන්න පටන්ගන්න කාලෙ වෙනකොට ඔහු චිංගිස් අයිත්මාතොව් සම්මානයත් ලබාගෙන ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරයෙත් අවධානයට ලක්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මම හිතන විදියට ඔහු මේ වන විට පරිවර්තන පොත් අසූවකට වැඩි ප්‍රමාණයක් පාඨකයා වෙත තිළිණ කර තිබෙනවා. ස්වයං නිර්මාණ ඇතුළු පොත් පත් රාශියකුත් තිබෙනවා. මෙහිදී කියන්න ඕනම කාරණයකුත් තිබෙනවා. මෙපමණ විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් පරිවර්ථනය කරමින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ මේ ලේඛකයා ළමා සාහිත්‍ය කෘතිත් නිර්මාණය කරනවා. කොතරම් වැඩ අධික වුණත් ළමයින් වෙනුවෙන් ඔහු ඉඩක් වෙන්කිරීම කරනවා. එය ඉතා වටිනා කටයුත්තක් විදියටයි අපට පේන්නේ. ඉතින් මේ පොත පත නිසා අපි චූලාන්ද සමරනායක කියන ලේඛකයා, පරිවර්තකයා හඳුනාගෙන තිබෙනවා.
ඔහු කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද?
චූලානන්ද සමරනායක මහතා වරක් කොළඹ පොත් එළිදැක්වීමේ උත්සවයකට ගිහින් ඒක ඉවර වෙලා ටිකක් හැන්දෑ වෙලාවක හයියෙන් හයියෙන් කෝච්චියට යන්න යනකොට ලලිත් පුෂ්පකුමාර කියන ලේඛකයාත්, දයාරත්න දළවැල්ල කියන ලේඛකයාත් පිටිපස්සෙන් දුවල දුවල ගිහින් මොහු සමග කතාවට වැටිලා හිතවත් වෙලා තුන්දෙනත් එක්කම කෝච්චියෙන් කළුතර එන ගමන් කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය ගැන කියලා ඒකට සම්බන්ධ වෙන්න චූලානන්ද සමරනායකට ආරාධනා කරනවා. ඒ සිදුවීම 2013 අග වගේ සිදුවන්නේ. 2014 වන විට චූලානන්ද සමරනායක අප සංවිධානයට එකතු වෙනවා. අද වන විට ඔහු එම සංවිධානය සමග එකතුව ළමයින්, යොවුන් ලේඛකයන්, ලේඛන දිවියට පිවිසෙන්නට සිටින අය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටිනවා.
කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය තුළ ඔහුගේ භූමිකාව මොන වගේද?
ඇත්තටම කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය කියන්නෙ විශාල පිරිසක් නැති එහෙත් ගොඩක් වැඩකරපු, වැඩ කරන සංවිධානයක් මේ වන විට අපේ සංවිධානය ඇතුලේ යොවුන් ලේඛක ලේඛිකාවන් පුහුණු කිරීමේ වෙනම කඳවුරුක් දියත් වෙමින් තියෙනවා. කෙටි චිත්‍රපට නිර්මාණය උදෙසාත් වැඩමුළු කරන්න අප සංවිධානයට එකතු වූ පුද්ගලයන් කටයුතු කරමින් තිබෙනවා. මේ ලේඛක සංවිධානය මගින් පාසල් මට්ටමින් සංවිධානය වන දරුවන් නිර්මානකරණයට පොළඹවන විවිධ වැඩසටහන්වලදී චූලානන්ද සමරනායක කියන ලේඛකයා ඉතා අනතිමානී ගුණයෙන් යුක්තව ඒ කටයුතුවලදී ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. ඔහු මහ පොළවෙ පයගහල ඉන්න මනුස්සයෙක් බව ඒ හැම තැනකදීම ඔප්පුවෙලා තියෙනවා.
ඔහු සම්මාන ප්‍රතික්ෂේප කරපු ලේඛකයෙක්. රාජ්‍ය සම්මාන වරක් ඔහු ප්‍රතික්ෂේප කළා. චිංගිස් අයිත්මාතොව් සම්මානය 2015 වසරේ ඔහුට ලැබෙද්දි ජාත්‍යන්තරය මේ චූල මිනිසා විසල් මිනිසකු බව අපට කියා දෙනවා. ඔහු ජනතා සම්මානයෙන් පිදුම් ලබපු, ලබන ලේඛකයෙක්.
මේ විසල් මිනිසාගේ මෙහෙවර ඉදිරි පරපුරට මතක් කර දීම යුතුකමක් කොට සැලකූ කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ සියලු සාමාජික සාමාජිකාවන් මේ වගේ වැඩක් කරන්න ඕන කියලා යෝජනා ස්ථිර කරගත්තා. මේක කරන්නෙ කොහොමද, කොහේද, කොයි විදියටද කියන කාරණාවේදී සාහිත්‍යට බෙහෙවින්ම ලැදි චූලානන්ද සමරනායක මහතා කෙරෙහිත් බෙහෙවින් ලැදිකමක් ඇති අප සංවිධානයේ අනුශාසකවරයකු ලෙස කටයුතු කරන හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝම්බුවල මහතාට අපේ අදහස ඉදිරිපත් කිරීමත් සමගම එතුමන් මේ වෙනුවෙන් ස්ථානය, සංග්‍රහ ඇතුළු පහසුකම් සපයාදී තිබෙනවා. මේක චූල අයියාගෙන් සඟවාගෙන සංවිධානය කිරීමේදී අපට බොහෝ දුෂ්කරතා මතු වුණා. ඇත්තටම ඒක ඔහුගෙන් සඟව ගන්න ඕන වුණේ ඔහුව පුදුමයට පත් කරන්න නෙමෙයි. ඔහු මේකට ඉඩ නොදෙන බව සක්සුදක්සේ දන්නා නිසා. මම ඔහුගෙන් දිනය වෙන් කරේ මගේ වැඩක් තියෙනවා කියලා. දැන් නම් ඔහු මොකක් හරි ඔහු වෙනුවෙන් කරනවා කියලා දන්නවා. ඒත් කෙරෙන විදියක් තාමත් දන්නෙ නෑ.
ඔහුගේ සමාජ මෙහෙවර, ඒක මහ පුදුම දෙයක්. බස් එකේ කෝච්චියෙ ගිහින් ඉස්කෝලවල වෙනත් තැන්වල මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මහ කැක්කුමක් උණක් තියෙන මනුස්සයෙක්. කන්න බොන්න නිදාගන්නවත් නැතිව වැඩ කරන මහ පුදුම මනුස්සයෙක්. දිට්වා සුළි කුණාටුව වෙලාවෙත් ඒ ඒ තැන්වලට ගිහින් මිනිස්සුන්ගේ හිත් හදන්න දිවා රෑ නොබලා කටයුතු කරනවා අපි දැක්කා. ඔහු විශ්‍රාම ගියා රස්සාවෙන් පසුගිය කාලෙ. දැන් මුළු ජීවිතයම අනුන් වෙනුවෙන් කැප කරපු ජීවිතයක්. ඔහු වෙලාව නෑ කියන කෙනෙක් නෙමෙයි කොහොම හරි වැඩේට වෙලාව වෙන් කරගන්න කෙනෙක්. මේ සියල්ල ඔහුට කරන්න ලැබිල තියෙන්නෙ ඔහුගේ බිරිඳත් සමාජ හිතකාමී චරිතයක් වීම නිසා කියල අපට දැනිල තියෙනවා. දරුවනුත් එහෙමයි.
චින්තනී වික්‍රමනායක

