කෝටි 9ක් ගිල්ල සූර්ය පැනල ජල ව්‍යාපෘතිය හබක්! යාල ජාතික වනෝද්‍යානයේ වසරක් පාසා ඇති වන නියඟයෙන් වන සතුන් ආරක්ෂා කර ගැනීමට උද්‍යානයේ ඇති ප්‍රධාන වැව් නවයකට නළ මගින් ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 9ක ලෝක බැංකු ආධාර යටතේ ඉදිවුණු සූර්ය පැනල තාක්ෂණ ජල ව්‍යාපෘතිය මුළුමනින්ම බිඳ වැටී තිබේ…

කෝටි 9ක් ගිල්ල සූර්ය පැනල ජල ව්‍යාපෘතිය හබක්!

යාල ජාතික වනෝද්‍යානයේ වසරක් පාසා ඇති වන නියඟයෙන් වන සතුන් ආරක්ෂා කර ගැනීමට උද්‍යානයේ ඇති ප්‍රධාන වැව් නවයකට නළ මගින් ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 9ක ලෝක බැංකු ආධාර යටතේ ඉදිවුණු සූර්ය පැනල තාක්ෂණ ජල ව්‍යාපෘතිය මුළුමනින්ම බිඳ වැටී තිබේ. මේ හේතුවෙන් නියඟයෙන් වන සතුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.

මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඉහළ පෙළේ වනජීවී නිලධාරීන් තිදෙනකුගේ හිතවත්කම් මත හාඩ්වෙයාර් හිමිකරුවකු විසින් පවත්වාගෙන යන ලබන අනු ආයතනයක් විසින් මෙම ජල ව්‍යාපෘතිය ඉදිකර ඇති බවත් එම ව්‍යාපෘතියේ නඩත්තු කටයුතු එකී ආයතනය විසින් සිදු කර යුතුව තිබුණද දැනට ක්‍රියාවිරහිත වී ඇති ජල පොම්ප දෙක සක්‍රීය නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවත්ය.

අදාළ කිසිදු කටයුත්තක් නිසි පරිදි ඉටු නොකරන මෙම ආයතනයට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සියලුම උද්‍යානවල සවිකර ඇති හැටකට අධික සූර්ය පැනල ජල පද්ධති ඉදිකිරීම හා නඩත්තු කිරීම වසර 15 ක සිට අඛණ්ඩව ලබාදීම විමතියට කරුණක් බවද ඔහු සඳහන් කළේය.

වසරක් පාසා සිදු කරන රාජ්‍ය විගණනයට වෙට්ටු දමා මෙම ආයතනය විසින් උද්‍යානවලට තවදුරටත් ජලය ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් මෙම ආයතනය විසින් සවිකරන ලද සියලුම ජල ව්‍යාපෘති වසරකට තුන්වරක් නඩත්තු කළ යුතු අතර එකී ආයතනයට වසරක් පාසා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පොම්ප නඩත්තුව සඳහා විශාල මුදලක් නඩත්තු වියදම් ලෙස ගෙවන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව එවකට කටයුතු කළ ඌව සහ දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඩී.යූ. ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ පිළිබඳව විමසීම සඳහා දුරකථනයෙන් ඇමතුව ද ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. පසුව යාල උද්‍යාන භාර ඒ. ආර්. ටී. රවින්ද්‍ර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ වසරකට පෙර කාලයක සිට මෙම යන්ත්‍ර නඩත්තු කරදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා යාල ජාතික උද්‍යානයට ගිය අවස්ථාවේ මැණික් ගඟේ පරණ තොටුපළ පිහිටි ස්ථානයේ සූර්ය පැනල පොම්පාගාරය ඉදිකර ඇති බවත්, එතැන් සිට කිලෝමීටර් 18 ක් දුරට ප්‍රධාන වැව් 09ක් ආවරණය වන පරිදි එනම් මුතු වැව, පට්ටියවල වැව, මහා සීල වැව, දෙබරගස්වල වැව, ලෝළුගස්වල වැව, ඌරණිය වැව, පළුගස්වල වැව, මෙනට් වැව, පදනංගල වැව, හඳුන්ඔරුව වැව, පලුගස්වල දෙක හා තවත් ජලය රැඳෙන ස්ථාන කිහිපයක් මෙන්ම ප්‍රධාන කාර්යාලයට සහ උද්‍යානයේ බංගලා තුනකට ආවරණය වන පරිදි අඟල් හයක විෂ්කම්භය සහිත නළ පද්ධතියක් එළා ඇති ආකාරයත් දෙක ගැනීමට හැකි විය. එමෙන්ම බට පද්ධතිය පොළොව යටින් එළීම සඳහා කිලෝමීටර් 18ක් දුරට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විශාල වන විනාශයක් සිදු කර ඇති ආකාරයද දැකගැනීමට හැකි විය. එම අවස්ථාවේ හමුවූ උද්‍යානයේ සිටි වනජීවී නිලධාරියකුගෙන් කළ විමසීමේදී සඳහන් කළේ මේ තරම් පරිසර හානියක් සිදුකර ඉදි කළ ජල ව්‍යාපෘතියේ වටිනාකම කෝටි 07ක් වුවද වන විනාශය කෝටි 100 කට අධික බවය.

භූගත බට පද්ධතීන් සම්බන්ධ කරන ලද මහා වැව් තුනක පමණක් සුළු ජල කොටසක් මේ වනවිට රැඳී පවතින අතර අනිත් වැව් සියල්ල සහ උද්‍යානයේ ඇති ජලය රැඳෙන ස්ථාන සියල්ල සිඳී වියළී ගොස් ඇති ආකාරය ද දැකගැනීමට හැකි විය. උද්‍යානයේ ඇති එක් ජල බවුසරයක් යොදා ගනිමින් උද්‍යානයේ ඇති ප්‍රධාන මාර්ග ආසන්නයේ ජලය රැඳෙන ස්ථානවලට ජලය සැපයීමද සිදු කරයි. සුළු වශයෙන් ජලය රැඳී තිබූ ටැංකි ගල පොකුණ වටා කිඹුලන් සහ පක්ෂීන් බොහොමයක් රැඳී සිටි අතර එය ඉතා සුන්දර දර්ශනයක් ද විය. එමෙන්ම සුළු වශයෙන් ජලය රැඳී තිබෙන වැව් ආසන්නයට වී දිවියන් බලා සිටි අතර උද්‍යානයේ බොහෝ තැන්වල ගමන් කළද වන අලියකු දැක ගැනීමට නොහැකි විය.

මෙම තත්ත්වය හමුවේ දිනෙන් දින වියළී යන යාල ජාතික උද්‍යානයේ වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා උද්‍යානය වසා දැමීම වෙනුවට අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගනිමින් නිලධාරීන්ගේ අධීක්ෂණය මත පුද්ගලික ජල බවුසර් යොදා ගනිමින් උද්‍යානය තුළ ජලය රැඳෙන ස්ථානවලට ජලය සැපයීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් කළද තවමත් ඊට අවසර නොලැබුණු බව යාල ස්වාධීන සෆාරි ජීප් රථ සංගමයේ සභාපති කේ. ජී. උපුල් සුරංග මහතා සඳහන් කළේය.

ලොව එහා කෙළවරේ සිට වනාන්තර බොහොමයක් පසු කරමින් පුංචි යාල වන අඩවිය සොයා සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ වන සතුන්ගේ සුන්දරත්වය මෙන්ම පරිසර පද්ධතියේ සුන්දරත්වය ද විඳ දරා ගැනීමටය. වසරකදී රටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන යාල ජාතික උද්‍යානයේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු උසස් නිලධාරීන් නිදා සිටීමත් අදාළ වගකිවයුත්තන් යාල තුළ පිහිටි බංගලාවලට පැමිණ සැප විඳීමට පමණක් කටයුතු කිරීමත් නිසා දිනෙන් දින යාල ජාතික උද්‍යානය විනාශයට යෑමට ඉඩ නොදී සුන්දර යාල රැක ගැනීමට සියලු දෙනාගේ අවධානය යොමුවීම ඉතා වැදගත් බව පසක් කරමි.තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු