හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.35ක් ලෙස ඉහළ ගොස්…

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.35ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම බොරතෙල් බැරලයක මිල එලෙස ගොස් ඇත්තේ අමෙරිකානු ඩොලර් 2.34කින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.08%ක්. මේ අතර WTI බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 2.21කින් හෙවත් සියයට 3.09කින් ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලයක දැන් මිල අමෙරිකානු ඩොලර් 73.62ක්. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවට අනුව ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගොස් තිබෙනවා. එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතිනවා. මේ අතර ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. එම ප්‍රහාරවලින් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බවයි. මේ අතර අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා – ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසනවා. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවයි. එවන් පසුබිමක් තුළ ඊශ්‍රායලය විසින් හමාස්හි ආයුධ නිෂ්පාදන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.