ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද ශෝකය පළ කෙරුණා. ඒ, සභාවේ කටයුතු ආරම්භයේදීම විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමත් සමගයි. ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය විසින්. විනාඩියක නිශ්ශබ…
ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද ශෝකය පළ කෙරුණා. ඒ, සභාවේ කටයුතු ආරම්භයේදීම විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමත් සමගයි. ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය විසින්. විනාඩියක නිශ්ශබ්දතාවයෙන් පසුව අග්‍රාමාත්‍යවරිය ආචාර්ය නන්දා මාලනි මහත්මියගේ අභාවය පිළිබද ශෝකය පළ කළා. “නන්දා මාලිනී මහත්මියගේ ගීත ඇසෙමින්, ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ වියෝව මට දැනෙන්නේ හුදෙක් ශ්‍රී ලාංකීය සංගීතයේ අසමසම කලා පෞරුෂයක් අපට අහිමි වීමක් ලෙස පමණක් නොවේ. එය අපේ ජීවිත වලට සමීපව, අපේ මතකයන් සමග බැඳී, සතුටේදීත්, වේදනාවේදීත් අප සමග සිටි හුරුපුරුදු හඬක් අපෙන් වෙන් වීමක් ලෙසයි.එතුමියගේ ගීත අපේ පරම්පරාවේ ජීවිත අත්දැකීම් සමග බැඳී තිබූ අතර, ඒ මනරම් හඬ සමග ගොඩනැගුණු මතකයන් අද ඇයගේ වියෝව සමග වඩාත් තදින් සිහිපත් වෙනවා.ළමා වියේදී ‘බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්’ ගීතය ගායනා කරමින් සංගීත ලොවට පා තැබූ එතුමිය, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගුරු හුරුකම් ලබමින් ‘රන්මුතු දූව’ චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත ක්ෂේත්‍රයට පිවිසියාය. එතැන් සිට දශක ගණනක් පුරා එතුමියගේ හඬ අපේ නිවස් වලත්, අපේ පාසල් සමයේත්, අපගේ උත්සව හා ජාතික අවස්ථා වලත් නිහඬව අපගේ දෛනික ජීවිතය සමග ගමන් කළේය. එතුමිය ගැයූ ගීත බොහොමයක් අපට හුදෙක් අසන්නට ලැබුණු ගීත නොව, අපේම ජීවිතයේ කොටස් බවට පත්ව තිබුණි.” යුක්තිය සහ සාමය වෙනුවෙන් සටන් කරන සැමට නන්දා මාලනියගේ හඩ ශක්තියක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ. “එතුමියගේ හඬ ඉදිරියටත් ඇසෙනු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. අපේ ජීවිතයේ බොහෝ මතකයන්ට හඬක් වූ, පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත් ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සටහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. එතුමියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියටත්, ඒ හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් මාගේ බලවත් සංවේගය පළ කරමි.” ඉන් අනතුරුව නන්දා මාලනී මහත්මියට ශෝකය පළ කිරීම සදහා නැගී සිටියේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. “එතුමිය තුළ තිබුණු ඒ විශිෂ්ට උතුම් මානවහිතවාදී සංකල්පයන් තුළ, එතුමිය දරපු මතය කිසිදාක නොවෙනස්ව, නොකිලිටිව ඒ තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්නා විශිෂ්ට ගුණාංගය එතුමිය සතුව තිබුණා. අපේ රටේ විවිධ කාලවකවානුවන් තුළදී, අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ, අපි දන්නවා ඛේදවාචකයන් රැසක් නිර්මාණය වුණා. අපි අවංකවම හදවතට එකඟව කියන්න කැමතියි, 71 කාලවකවානුවත් 88-89 කාලවකවානුවත්, ඒක අපේ රටේ ඉතිහාසයේ සිදුවුණු ඛේදවාචකයන්. ගරු නන්දා මාලිනී මැතිනිය ඒ විවිධ අවස්ථාවන් වලදී අපේ රටේ යොවුන් පරපුර වෙනුවෙන්, මානව සම්පත වෙනුවෙන්, මානවහිතවාදීත්වය වෙනුවෙන්, ඒ වගේම මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් කෙළින්ම හිටගත්තා. අපි දන්නවා විවිධ අවස්ථාවන් වලදී එතුමියගේ ඒ ආකල්ප වලට, ඒ අදහස් වලට පවතින ආණ්ඩුත් විරුද්ධ වුණා. ඇත්ත කතා කරනවා නම්, සමහර විට රාජ්‍ය මාධ්‍ය වල එතුමියට ලබා දුන්නු ඒ ඉඩකඩ, ඒක අහිමි කරා. මම නම් ඒ කාලේ දේශපාලනයේ හිටියේ නැහැ, නමුත් ඒ කාරණා කියනකොට ඒ පාර්ශවය නියෝජනය කරපු අපි, අපිටම ඇඟිලි දික් කර ගැනීමත් වැදගත්.” නන්දා මාලනිය සැම විටම එකම මතයක් දරමින් ඒ වෙනුවෙන් පෙනී සිටිමට ගත් උත්සාහය රටේ සැමට ආදර්ශයක් බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි අවධාරණය කළා. “නන්දා මාලිනී ඇන්ටිගේ, අපි කිව්වේ ඇන්ටි කියලා, එතුමියගේ ඒ ඒ නිර්මල චරිතය, ඒ කිසිදාක පැත්තෙන් පැත්තට යන්නේ නැතුව එක තැනක ඉදගෙන හොඳ ශක්තිමත් මතයක සිටීම ඇත්ත වශයෙන්ම ලංකාවාසී ලක්ෂ 220ක් ජනතාවටම ආදර්ශයක්. නිසා එතුමියගේ මේ හදිසි වියෝව, අභාවය අපි හැමෝටම දුකට කරුණක්. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයට, සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වන මමත් ඇත්ත වශයෙන්ම එක ෂොක් එකක් වුණා ඒ ආරංචිය එනකොට එතුමියගේ හදිසි වියෝව, අභාවය පිළිබඳව. ඒ නිසා සත්‍ය වශයෙන්ම අපි මේ අවස්ථාවේ එතුමියට ගරු කරනවා. සමාව ඉල්ලා සිටිනවා මේ විනාඩියක නිශ්ශබ්දතාවය පිළිබඳව මම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් අපි හැමෝම ඒ අවස්ථාවට සහභාගී වෙනවා. මඳක් ප්‍රමාද වුණා මේ සභාවට පැමිණීමේදී. ඒ පිළිබඳවත් මම සමාව ඉල්ලා සිටිනවා, කණගාටුව පළ කරනවා. මොකද ඒ තරම්ම ලොකු ගරුත්වයක් ඒ නන්දා මාලිනී මැතිනියට, ශූරීන්ට, නන්දා මාලිනී ඇන්ටිට අපේ තිබෙනවා.” ඉන් අනතුරුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. අභාවප්‍රාප්ත නන්දා මාලිනී මැතිනිය වෙනුවෙන් මෙම සභාවේදී ශෝකය පළ කරමින් ඉදිරිපත් කරලා තියෙන කරුණු සමග මමද එක්වන අතර, එතුමියට නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.”







