දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ සහ රත්මලාන කඳවල පාරේ ඉකුත්දා සිදුවූ වෙඩිතැබීම් සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. ඒ අනුව, නිසල සෙවණ පොදු සුසාන භූමියේ කෙරුණු වෙඩි තැබීම වෙනුවෙන් වෙඩික්කරුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා දී ඇති බවයි කියවෙන්නේ. මෙම…
දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ සහ රත්මලාන කඳවල පාරේ ඉකුත්දා සිදුවූ වෙඩිතැබීම් සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. ඒ අනුව, නිසල සෙවණ පොදු සුසාන භූමියේ කෙරුණු වෙඩි තැබීම වෙනුවෙන් වෙඩික්කරුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා දී ඇති බවයි කියවෙන්නේ. මෙම මුදල වෙඩික්කරු බව කියන පුද්ගලයා සමග නීත්‍යානුකූල නොවන සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාන්තාවකගේ බැංකු ගිණුමකට ගිණුම් ගත කර ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා. විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ වෙඩික්කරු බව කියන පුද්ගලයා කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සේවය කළ අයකු බවයි. සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස කුප්‍රකට බෝධියාවත්තේ අවිශ්ක නමැත්තාගේ මෙහෙයවීම මත ඔහු වෙඩිතැබීම සිදුකර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා. වෙඩි තැබීම වෙනුවෙන් ඔහුට මුදල් ලබා දී ඇත්තේ ද බෝධියාවත්තේ අවිශ්ක විසින් බවයි කියැවෙන්නේ. දෙහිවල ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී මෙම වෙඩි තැබීම සිදු වුණේ ඉකුත් 19 වනදායි. සුසාන භූමියේ මුරකරුවකු ලෙස සේවයේ යෙදී සිටින අයකු එහිදී තුවාල ලැබුවා. පසුව අනාවරණ වූයේ මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස කුප්‍රකට සැන්ඩෝ නමැත්තාගේ පියාද වන බවයි. මෙම වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණා. ඔවුන්ගෙන් පැදිකරු බව කියන පුද්ගලයා මීට පෙර දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණ වූ තවත් තොරතුරුවලට අනුව දැන් වෙඩික්කරු බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමග අපරාධය සඳහා ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට ඔහු සමග නීත්‍යානුකූල නොවන සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියැවෙන කාන්තාවද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් දෙදෙනා මිහින්තලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාශය විසින් කෙරුණු මෙහෙයුමකදීයි. මේ අතර ඉකුත්දා රත්මලාන කඳවල පාරේ කෙරුණු වෙඩිතැබීම ද සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට දැන් තොරතුරු ලැබෙමින් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය ගිය අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කුප්‍රකට රත්මලානේ අංජු නොහොත් කුඩු අංජු නමැත්තාගේ සමීපතමයෙකු බවයි කියැවෙන්නේ. කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් එකතු කරන්නෙකු ලෙස ඔහු කටයුතු කර ඇතැයිද තොරතුරු තිබෙනවා. දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී කෙරුණු වෙඩි තැබීම මෙන්ම රත්මලාන කඳවල පාරේ කෙරුණු මෙම වෙඩි තැබීමද මෙහෙයවා ඇත්තේ බෝධියාවත්තේ අවිශ්ක විසින් බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් රත්මලාන කඳවල පාරේ කෙරුණු වෙඩි තැබීම සඳහා තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාද සම්බන්ධ බවටද තොරතුරු තිබෙනවා. මෙම වසරේ මේ දක්වා කාලයේදී සිදුව ඇති මුළු වෙඩිතැබීම් ගණන 24ක්. එහිදී පුද්ගලයින් 16දෙනකු මිය ගොස් ඇති අතර තවත් 13දෙනෙකු තුවාල ඇතැයි පොලීසිය පැවසුවා.











