පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. මේ හේතුවෙන…
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ එම් පී.සී ටි. බණ්ඩාර මහතා ''නැගෙනහිර පළාත, අම්පාර, ඒ වගේම මඩකලපුව, ත්‍රිකුණාමලය, ඒ වගේම හම්බන්තොට, මොණරාගල මේ වගේ දිස්ත්‍රික්වල යම් වියළි කාලගුණයක් ඇතිවෙමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය, මේවා සතු ජලාශවලින් තමයි අපි වැඩිපුරම පානීය ජලය සඳහා ජලය ලබාගන්නේ. මේ ස්ථානවලින් තවමත් අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හෝ මහවැලි සංවර්ධන අධිකාරියෙන් හෝ වෙනත් ආයතනයකින් ජලය ලබාගැනීම සඳහා සීමාවන් පනවල නෑ. එම නිසා මේ මොහොත වෙනකොටත් අපි සම්පූර්ණ අපගේ ජල නිෂ්පාදන ධාරිතාවය ඒ විදිහටම පවත්වාගෙන යනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයෙන් පස්සේ නැවත වර්ෂාපතනය රටට ලැබෙයි කියලා. ඒ වගේම අපි මේ මොහොතේ ඇත්තටම වියළි කාලගුණය සම්බන්ධයෙන් විශාලම පුරෝකථනයක් තිබෙන්නේ ඊළඟ අවුරුද්දේ 2024 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකොට මේක තවදුරටත් තීව්‍ර විදිහට දැනෙයි කියලා. ඉතින් ඒවත් එක්ක අපි මේ මොහොත වෙනකොට සූදානම් වෙමින් සිටිනවා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා. අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය පරිභෝජනය කිරීම කරගෙන යන්න සිද්ධ වෙයි මෙම අභියෝගාත්මක මොහොත පසුකරගන්නකන්. ඉතින් ඒ සඳහා අපිට ජල සම්පාදන මණ්ඩලය විදිහට ගන්නා ක්‍රියාමාර්ග වගේම මහජනතාව විදිහට රටේ ජනතාවත් ජල පරිභෝජනයේදී පුළුවන් තරම් අරපිරිමැස්මෙන් ජලය, විශේෂයෙන්ම නාස්තිය අවම කරමින් ජලය පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා මේ මොහොතේදී. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින උෂ්ණාධික සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම සැලකිය යුතු ජල හිඟතාවයක් පවතින බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73හි සමස්ත ධාරිතාවයෙන් දැනට ඉතිරිව පවතින්නේ සියයට 40ක පමණ ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් පැවසුවා. කෙසේවෙතත් මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ. අද මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පූර්ව ගංවතුර අනතුරු අවදානම පිළිබද ඇම්බර් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබිය හැකි බැවින්, සිදුවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.











