නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් ගැසට් පත්‍රයේ පළ කිරීමට රජය සූදානම් වනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය දැනටමත් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන…

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් ගැසට් පත්‍රයේ පළ කිරීමට රජය සූදානම් වනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය දැනටමත් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි පැවසුවේ. කෙටුම්පත ඒ අනුව සකස් කර ගැසට් පත්‍රයේ පළ කිරීම අධිකරණ අමාත්‍යාංශය විසින් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම නීති සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට නියමිතයි. ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වාද, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 62 දක්වාත් දීර්ඝ කිරීමට මෙමගින් යෝජනා කෙරෙනවා. අදාල කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි. ඒ අතරතුර කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අධිකරණයට යාමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙනවා. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන මෙම නීති සංශෝධනය ආණ්ඩුව විසින් මෙලෙස ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ ඒ පිළිබඳව පාර්ශව ගණනාවකින් බරපතළ විරෝධතා එල්ලවෙමින් තිබියදීයී. යෝජිත මෙම සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉකුත්දා යෝජනාවක් සම්මත කළා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන නීති සංශෝධනයට එරෙහි මහජන පෙත්සමක් ද අත්සන් කරමිනුයි තිබෙන්නේ. මෙලෙස මෙම සංශෝධනය සඳහා විරෝධය පළ කරන පිරිස් පවසන්නේ ආණ්ඩුව ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා සහ අධිකරණය පක්ෂපාතීව හසුරවා ගැනීම සඳහා මෙම සංශෝධනය සිදු කරන බවයි. ආණ්ඩුවේම ඇතැම් පාර්ශවද මෙම නීති සංශෝධනය සඳහා විරෝධය පළ කිරීම විශේෂත්වයක් වනවා. කෙසේවෙතත් අධිකරණවල දැනටමත් නඩු ලක්ෂ 11ට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයිද ඒවා ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අවශ්‍ය බවයි ආණ්ඩුව පවසන්නේ. යෝජිත නීති සංශෝධනයේ අපේක්ෂාව වන්නේද එලෙස අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු ඉක්මණින් විභාග කර අවසන් කිරීම සඳහා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සහය ලබා ගැනීම බව මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පැවසුවා. ''මෙතන ඇත්ත වශයෙන්ම අපි කරන දේ ව්‍යවස්ථානුකූලයි. අපිට අවශ්‍යතාවය තිබෙනවා වඩා පළපුරුද්ද සහිත, දැනුමක් තියෙන, පරිණතභාවයෙන් යුතු විනිශ්චයකාරවරුන් අධිකරණයක ඉන්නවා නම් එතනත් නඩු ඇසීම කාර්යක්ෂම සහ වේගවත් වෙනවා. ඒක විතරක් කරලා මදි. නමුත් අපි ඒක කරන්නේ අනෙක් සියලුම සංශෝධනවල කොටසක් හැටියට. මේක අපි මහජනතාව අපිට දීපු වරමක්. මහජනතාවගේ තියෙන අවශ්‍යතාවයක්. එතකොට අපි නීතිඥ සංගමයට කන්දෙනවාට වගේම මහජනතාවටත් අපි කන්දිය යුතුයි. ඒක නිසා ඉදිරියේදීත් ඔවුන්ට පමණක් නෙමෙයි ඕනෑම කෙනෙකුට අවශ්‍ය අදහස් දක්වන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අපිට මහජනතාව දීපු වරමත් එක්ක අපි ක්‍රියාත්මක වෙනවා. මොකද ඔවුන් දරන ප්‍රධාන තර්කයක් වෙන්නේ මේ... මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියන එක. ඒක සාක්ෂාත් කරගන්න තරම් ඔවුන් මට කරුණු නම් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අපි ඕනෑම දේකට කන්දෙන්න සූදානම් ආණ්ඩුවක්. හැබැයි වැඩියෙන්ම කන්දෙන්නේ ජනතාවටයි ඔවුන්ගේ අවශ්‍යතාවයටයි.'' කෙසේවෙතත් ප්‍රශ්නගත සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉදිරියේදී ලබාදෙන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.