2026 අගෝස්තු මස 30 වැනිදා ඉරිදා අපිට කියන්නට ඇති කතාව ගැන සටහන් කරන්නට පෙර වෙනත් කතාවක් කියන්නෙමු. මේ මොහොත වනවිට ලෝකය පුරාම ව්‍යාජ පුවත් (Fake news) පැතිර යෑමේ ප්‍රවනතාවක් තිබේ. එය සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් විශාල අර්බුද මතු කරන මට්ටමක් දක්වා ගිය අවස්ථා බහුලය. තොරතුරු…
2026 අගෝස්තු මස 30 වැනිදා ඉරිදා
අපිට කියන්නට ඇති කතාව ගැන සටහන් කරන්නට පෙර වෙනත් කතාවක් කියන්නෙමු. මේ මොහොත වනවිට ලෝකය පුරාම ව්‍යාජ පුවත් (Fake news) පැතිර යෑමේ ප්‍රවනතාවක් තිබේ. එය සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් විශාල අර්බුද මතු කරන මට්ටමක් දක්වා ගිය අවස්ථා බහුලය. තොරතුරු වැරදි ආකාරයට භාවිත වන ආකාර කිහිපයක් තිබේ. ඒ, disinformation – misinformation සහ malinformation ලෙසය. ඉංග්‍රීසි භාෂාවේ මේ සියලු ආකාරයන් සිංහලෙන් වැරදි තොරතුරු ලෙස හැඳින්වේ. ඒ අනුව disinformation යන්න ද්වේෂසහගත අරමුණකින් තොරව තොරතුරු සත්‍ය යැයි විශ්වාස කරන පුද්ගලයන් විසින් බෙදාගනු ලබන අසත්‍ය දත්ත හෝ තොරතුරු ලෙස ද misinformation යන්න මිනිසුන් රැස්වීමට හෝ නොමග යැවීමට හිතා මතාම නිර්මාණය කර පතුරුවන ලද අසත්‍ය තොරතුරු ලෙස ද, malinformation යන්න සන්දර්භයෙන් බැහැර කර ඇති හෝ අගතියක් සිදුකිරීම සඳහා විශේෂයෙන් බෙදා ගන්නා සත්‍ය කරුණු හෝ අසත්‍ය තොරතුරු ලෙස ද හැඳින්වේ.
පූර්විකාවට එහා ගිය අපේ කතාව මෙසේය.
“මන්නාරමේ තෙල්” යනු දශක ගණනාවක් පුරා විටින් විට විවිධ ආණ්ඩු රටේ ජනතාවට චූන් වීමට කියන ලද හෑල්ලක් ලෙස සමාජගත වී තිබේ. 70 දශකයේ මැදක් වන්නට වූ කාලයක එකල සිළුමිණ හා දිනමිණ පුවත්පත්වල අපේ රටෙන් හාරා ගන්නා ලද ඛනිජ තෙල් සාම්පල සහිත බෝතල් දෙකක ඡායාරූප පළවී තිබිණි. එය එතරම් සිත් ඇදගන්නා සුළු ඡායාරූපයක් නොවුණ ද එකල අදාළ ආණ්ඩුවෙහි ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඡන්දදායකයන්ගේ අපමණ අමන්දානන්දයට හේතු විය. ඒ හැරුණු විට රටේ සමස්ත ජනතාවටම එය රටක් වශයෙන් සතුටට පත්වන්නට කාරණයක් විය. එහෙත් ආණ්ඩු පෙරළියත් සමගම මන්නාරමේ තෙල් කතාව පසෙකට විසි විය. ඉන්පසු අවස්ථා ගණනාවකදීම මේ ගැන කතාබහ මතුවූ නමුත් හමුවූ “තෙලක්‘” නැත. එක් වතාවකදී මන්නාරමේ තෙල් ගැන සපථ කළේ දළදා මාලිගා පරිශ්‍රයේදීය. එහෙත් ඒවා සියල්ල රටේ ජනතාවට සියලු ආණ්ඩු විටින් විට දී ඇති කෝකටත් තෛලයේ පොරොන්දු මිස යථාර්ථයක් වූයේ නැත.
ඒ අනුව මන්නාරමේ තෙල් කතාව යනු, අප ඉහත දැක්වූ ආකාර කිහිපයෙන් කොයි ආකාරයටත් ගත හැකි අන්දමේ දුස්තොරතුරක් ලෙස ජනතාව අතර මතයක් තිබිණි. එවැනි මතයක් ගොඩනැඟී තිබීම කාගෙ කාගේත් වාසනාවය. නැතිනම් මන්නාරමේ ජනතාව තමන්ගේ නිවෙස් වතුපිටි ආදියෙහි තෙල් සොයන්නට ළිං නොව පතල් හෑරීම වළක්වන්නට නොහැකිය. නිදන් හෑරූ දේශපාලනඥයන් මෙන්ම දේශපාලනඥයන්ගේ ත්‍රාඩ අපරාධකරුවන් ද යුද්ධයක පැටලෙනු නියතය. නැවෙන් ඩොලර් ගෙනෙන බව කී අය එවැනි අමනකම් කිරීමේ ප්‍රවනතාවක් ඇති නොවුණේ එය දුස්තොරතුරක් යැයි සමාජගතව තිබූ හෙයිනි.
කෙසේ හෝ 2026 අගෝස්තු 25 වැනි දින මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ගැඹුරු මුහුදු බිම් කොටස් 4ක් සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් වෙතින් ලංසු කැඳවීමේ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ආරම්භ කෙරිණි. තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වභාවික වායු කියුබික් අඩි ටි්‍රලියන 9ක විසල් තෙල් සම්පතක් ඇති බවට කෙරෙන ප්‍රවේශම්සහගත විiාත්මක තාක්‍ෂණය පදනම් කරගෙන මෙම ක්‍රියාවලිය දියත් වේ. ආණ්ඩුව කියන පරිදි එය ඇත්තක් නම් මේ රට ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම කිසිවෙකුටත් වළකාලිය නොහැක.
මෑත කාලයේ සිදුකරන ලද ගවේෂණයන්හිදී සොයාගෙන ඇත්තේ මන්නාරම, කාවේරිය, ලංකා යන වෙරළබඩ පිහිටි අවසාධිත ද්‍රෝණි තුනෙහි සතුටුවිය හැකි ප්‍රමාණයේ ඛනිජ තෙල් සංචිත තිබිය හැකි බවයි. ඒ අතරින් ද වැඩි ප්‍රගතියක් පෙන්වා ඇත්තේ මන්නාරම් ද්‍රෝණියෙහිය. එහි පළමු කම්පන සමීක්‍ෂණය සිදු කළේ 1984 වර්ෂයේදීය. ඒ කැනඩාවේ ෆීනික්ස් තෙල් සමාගම මගිනි. ඒ ලංකා ඛනිජ තෙල් සමාගම සමග එක්වයි. මෙරට පොළෝ ගර්භය තුළින් පළමු වරට ස්වභාවික වායුව සොයා ගන්නා ලද්දේ ද මන්නාරම් ද්‍රෝණියෙනි. ඒ 2011 වර්ෂයේදීය. එවැනි ස්ථාන දෙකක් දැනට හඳුනාගෙන ඇති අතර එය ප්‍රමාණයෙන් ස්වාභාවික වායු ඝන අඩි ටි්‍රලියන එක ද ඉක්මවන බව ඇස්තමේන්තුගත කර තිබිණි. එය ඝනීභවනය කළ පසු බැරල් මිලියන 10කට අධික වනු ඇතැයි ද අපේක්‍ෂා කෙරිණි. කෙසේ හෝ ඒ එකදු ව්‍යාපෘතියක් හෝ ඵලදායී ලෙස අවසන් වූයේ නැත. ජනතාවට මෙය එක් එක් කාලවකවානුවල ඒ ඒ ආණ්ඩු දුන් පච පොරොන්දු ලෙස ඉතිහාසගත විය. එවැනි තත්ත්වයක් තුළ මෙය දුස්තොරතුරු ගාණට වැටීම පුදුමයක් නොවේ. ඒවා ඉහත අප කී කවර ගණයේ දුස්තොරතුරකට වුව ආදේශ කළ විට රටේ ජනතාව මන්නාරමේ තෙල් ජෝක් එකක් හැටියට ගැනීම පුදුමයක් නොවේ.
කෙසේ හෝ මෙවර මෙම ව්‍යාපෘතිය වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව පෙනේ. ඒ 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මූලික කොට සකස් කළ නවීන නීතිමය හා නියාමන රාමුවක් තිබීම නිසාය. එමෙන්ම 2025 මැයි මාසයේදී හිමිවූ කැබිනට් අනුමැතිය ද ඊට විශාල ශක්තියක් එක්කර ඇති බව පෙනේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පූර්ණ පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම ලංසු තැබීම විනිවිදභාවයෙන් සහ තරගකාරිත්වයෙන් සිදුකිරීමට නියමිත බව කියැවේ. තෙල් ගවේෂණය යනු බරපතළ අවදානමක් මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත් රජය මෙම අවදානම භාරගනිමින් තාක්‍ෂණික – මූල්‍ය ශක්තියෙන් පොහොසත් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන් එක්කර
ගැනීමේ අවංක උත්සාහයක නිරත වන බව පෙනේ. අපට වුවමනා වන්නේ තවදුරටත් දුස්තොරතුරු ලෙස මන්නාරමේ තෙල් කතාව අසන්නට නොවේ. පසුගිය කාලයේ මෙය නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් වුවමනා තරමේ කතාවකි. දැන් ඇත්තේ කෙරෙන වෙදකමට මන්නාරමේ ඕනෑ තරම් තෙල් ඇති බව පෙන්විය යුතු මොහොතයි.












