ඉකුත් බ්‍රහස්පතින්දා (27) රාත්‍රී ස්විට්සර්ලන්තයේ දී පැවැති “සූරිච් – ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය” තම ජීවිතයේ තවත් සුවිශේෂී මතකයක් කර ගනිමින් පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය. මීටර් 92.07 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙම ජයග්‍…

ඉකුත් බ්‍රහස්පතින්දා (27) රාත්‍රී ස්විට්සර්ලන්තයේ දී පැවැති “සූරිච් – ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය” තම ජීවිතයේ තවත් සුවිශේෂී මතකයක් කර ගනිමින් පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.

මීටර් 92.07 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙම ජයග්‍රහණය සනාථ කර ගැනීමට 23 හැවිරිදි රුමේෂ් තරංග සමත් වීම ඉහළින්ම කැපී පෙණුනි.

එකී ඉසව්වේ දෙවැනි ස්ථානය ඇන්ඩර්සන් පීටර්ස් (මීටර් 86.93) තහවුරු කර ගන්නා අතර වාරයේ දී තෙවැනි ස්ථානය ඩේවිඩ් වැග්නර් (මීටර් 85.16) සතු විය.

ජාත්‍යන්තර මට්ටමේ ඉහළම දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් අතරින් 10 දෙනෙකු “සූරිච් – ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය” යටතේ තරග වැදුණි. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී රුමේෂ් තරංග, පැරිස් අගනුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම මෙන්ම ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල ආශ්‍රිතව රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කමක් දිනා ගත් 29 හැවිරිදි ඇන්ඩර්සන් පීටර්ස්, ඩේවිඩ් වැග්නර්, කෙෂෝන් වෝල්කට්, ජුලියස් යෙගෝ, මාර්ක් ඇන්තනී, කර්ටීස් තොම්සන්, තෝමස් රෝලර්, සයිමන් වේල්ස් සහ පැට්‍රික් ගේලම්ස් එම දක්ෂයින් වූහ.

ප්‍රතිවාදී ක්‍රීඩකයන් 09 දෙනකු අභිබවමින් වැඩිම දුරක් හෙල්ලය විසි කිරීමට රුමේෂ් තරංග ට එහි දී හැකියාව ලැබුණි.

ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයට පත්ව සිටින රුමේෂ් තරංග මෙම තරග ඉසව්වේ දී තම අවසන් උත්සාහය හෙවත් සය වැනි වාරයේ දී උපරීම දක්ෂතාවය වන මීටර් 92.07 කරා ළඟා වීම ඉහළ අගයක් ගත්තේය.

2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් සහභාගි වූ පළමු වැන්නේ දී ග්‍රෙනේඩා රාජ්‍ය නියෝජනය කළ ඇන්ඩර්සන් පීටර්ස් (මීටර් 86.08) ට පරාජය වුවත් දෙවැනි අදියර (මීටර් 92.62), තෙවැනි අදියර (මීටර් 88.68), සිව් වැනි අදියර (මීටර් 88.14) සහ පස් වැනි අදියර (මීටර් 92.07) ජය ගනිමින් ජාත්‍යන්තර අවධානය ඉහළින්ම ලබා ගැනීමට රුමේෂ් තරංග සමත් වීම කැපී පෙණුනි. එවන් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ මෙරට පළමු වැන්නා ලෙස ද රුමේෂ් තරංග ඉතිහාසයට එක් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර