කුළි ත්‍රීරෝදයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40 ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විරෝධය පළ කරනවා. ඊයේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ පාසල් හැරයන සිසුන් ත්‍රීරෝද රථ වෘත්තීයට යො…

කුළි ත්‍රීරෝදයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40 ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විරෝධය පළ කරනවා. ඊයේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ පාසල් හැරයන සිසුන් ත්‍රීරෝද රථ වෘත්තීයට යොමුවීම වැළැක්වීම සදහා එලෙස කටයුතු කරන බවයි. “අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල අපිට මොකක්ද අත්පත් කරලා දීලා තියෙන්නේ? ලක්ෂ තුනක් විතර පාසල්වලට ඇතුළත් වෙනවා, 40,000ක් විතර විශ්වවිද්‍යාලවලට යන්න ඉඩකඩ තියෙනවා. විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඇවිල්ලා එළියේ අවුරුදු ගණනාවක් උද්ඝෝෂණය කරනවා රැකියාවක් හොයාගන්න. 2,60,000ක් එතනින් පහළට හැරිලා, හරිහමන් මාවතක් නැතුව, මේ වෙනකොට ලංකාවේ ත්‍රීරෝද රථ බලපත්‍ර විතරක් ඉන්නවා 1.1 million. ලංකාවේ දර්ශකයක් තියෙනවා NEET කියලා, Not in Employment, Education or Training. මේ දර්ශකය 2015දී 40%ක් ලංකාවේ තරුණ තරුණියන්ගෙන් අධ්‍යාපනයක නියැලෙන්නේ නැහැ, පුහුණුවක නියැලෙන්නේ නැහැ, වෘත්තියක නියැලෙන්නේ නැහැ. ඉතින් අපි කුඩු බොනවා කියලා බැනලා වැඩක් තියෙනවද? කංසා ගහනවා කියලා බැනලා වැඩක් තියෙනවද? හොරකම් කරනවා කියලා බැනලා වැඩක් තියෙනවද? කොතනද වැරැද්ද? අධ්‍යාපන මාවත හැදිලා නැහැ. ඒක නිසා අපිට තියෙනවා දැවැන්ත වෙනසක් කරන්න. ඒ මානවයාව යළි හදන්න, ප්‍රකෘතියට ගේන්න. ඒකට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි රජයක් හැටියට ප්‍රමුඛස්ථානය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනැල්ලා තියෙන්නේ. අපි ඉස්සරහට ත්‍රීවීල්වලට යන වයසත් ඇත්තටම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගියපු ගමන් ත්‍රීවීල් එකක් අරන් පාරට එන්න බැහැ. ඒ නිසා අධ්‍යාපනය වෙනසක් කරනවා, ඒක හරියට කරලා අපිට කොයි දේ වුණත් කමක් නැහැ.” කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා දැක්වූයේ මෙවන් අදහසක් “කුලී රථ ලෙස ත්‍රීරෝද රථ ධාවනය 40ට අඩු අයට තහනම් කරන්න යනවා, හෝ සීමා කරන්න යනවා. මේ තමයි ආණ්ඩුවේ අලුත් තීරණය. මම 40ට ඕන්නේ නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබේ ගම්ප්‍රදේශයේ මතක් කරන්න ත්‍රීවීල් පාක් කීයක් තියෙනවාද කියලා. ඔබ දැක්කාද මෑත කාලයේ ඔය ත්‍රීවීල් පාක්වල අවුරුදු 18, 20, 22 කොල්ලෝ ඉන්නවා? එහෙම කොල්ලෝ දැන් ත්‍රීවීල් පාක්වල නැති තරම්. කොහොමත් ත්‍රීවීල් පාක්වල ඉන්නේ දැන් අවුරුදු 35, 40, අවුරුදු 10, 15, 20, 30 ත්‍රීවීල් එලවන අය. දැන් අවුරුදු 18, 20 කොල්ලෝ අඩුයි ත්‍රීවීල් පාක්වල. එතකොට මේ අවුරුදු 18, 20 කොල්ලෝ අපි කියමුකෝ ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් එකක් එලවනවා කියලා, මේක වැරදිද? අවුරුදු 18ක, 20ක, 22ක කොල්ලෙකුට හිතෙනවා එක කොල්ලෙකුට හිතෙනවා මම අපේ පරම්පරාවෙන් ලැබිච්ච කුඹුර වගා කරනවා. ඒ කොල්ලාගේ යාලුවාට හිතෙනවා මම ත්‍රීවීල් එකක් අරන් හන්දියේ ත්‍රීරෝද රථය ධාවනය කරලා සල්ලි හොයනවා. එහෙම දෙන්නාටම තමන් කැමති තීරණය ගන්න ඕන රටක්ද අපිට ඕනේ? එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කියන රක්ෂාව තෝරාගන්න රටක්ද අපිට ඕනේ? ඔබ තීරණය කරන්න. ඇත්ත ප්‍රශ්න වෙනම තියෙද්දී මේ ආණ්ඩුවේ ඉන්න පාපිසි ටික විසඳන්න හදන්නේ නැති ප්‍රශ්න සමාජයේ.”